FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන හා ජලය ඉල්ලූ අයට උණ්‌ඩයෙන් පිළිතුරු දුන් අයුරු අමතක වෙලාද?..

හයෙන් එකේ නිවාස ඇමැතිවරයා වශයෙන් 2015 මැතිවරණ ජයෙන් පසුව ක්‍රියාත්මක වූ එතුමා 2016 -2017 වසර වන විටදී උදාකළ ගම්මාන හාරසිය විසි හයකට මුල්ගල් තබා තිස්‌ තුනක්‌ විවෘත කර ඇති බවත් 2017 වසර අවසන් වන විටදී උදාකළ ගම්මාන පන්සියය දක්‌වා වැඩි කිරීමට කටයුතු කරන බවත් නිවාස ඉංජිනේරු හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සෙවණ විසිරි නිවාස වැඩසටහන මූල්‍යාධාර චෙක්‌ පත් ප්‍රදානය කිරීමේ කළුතර දිස්‌ත්‍රික්‌ උත්සවයේදී පැවසීය.

තවදුරටත් කතා කළ සජිත් ප්‍රේමදාස මහතා

“අද කළුතර දිස්‌ත්‍රික්‌කයේ නිවාස ණය ලාභීන් හයසිය හැට හතර දෙනකු උදෙසා ලක්‌ෂ හයසිය හැට හතරක චෙක්‌ ලබාදෙන්නේ මා සතුව පවතින හයෙන් එකක නිවාස ඇමැති කමෙන් පමණයි. මාගේ දිවංගත පියාණන් වන රණසිංහ ප්‍රේමදාස ශ්‍රී ලංකාවට හිටිය එකම නිවාස ඇමැතිවරයායි. එතුමාගේ සංකල්පයක්‌ අනුව ක්‍රියාත්මක කළ නිවාස වැඩසටහන ආදර්ශයට ගෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නිවාස දිනයක්‌ හා ජාත්‍යන්තර නිවාස වසරක්‌ බවට ප්‍රකාශ කළා.

එයින් පසුව 1994 බල පෙරළියත් සමඟ නිවාස ඇමැතිකම කෑලි හයකට කඩා තමන්ගේ හෙන්චයියලා සතුටු කළා මිස නිවාස ඉදිකිරීම් කළේ නැහැ.

2015 පිහිටුවා ගත් යහපාලන රජයෙන් මට ලැබුණේ හයෙන් එකේ නිවාස ඇමැති කමයි. එයින් පසුබට නොවී අප ආරම්භ කළ සැමට සෙවණ වැඩසටහන් ශක්‌තිමත්ව ක්‍රියාත්මක කරනවා. 2025 වර්ෂය වන විටදී සෑම පවුලකටම නිවාසයක්‌ ලබාදීමට කටයුතු කරනවා.

එදා මගේ පියා රටට හිටිය එකම නිවාස ඇමැතිවරයායි. 1994 පසුව තම හිතවතුන් සතුටු කිරීම සඳහා කඩා වෙන්කළ නිවාස ඇමැතිකම් එසේම පවතී. ධීවර නිවාස, ආපදා නිවාස, නාගරික නිවාස, කඳුරට නිවාස, උතුරු පළාත් නිවාස වශයෙන් කොටස්‌ කළා. එයින් එක්‌ කොටසක්‌ නිවාස අධිකාරිය සමඟ ක්‍රියාත්මක විය. එහි වැඩ තමයි මම කරන්නේ. 2015 වෙන් පසුවත් එම විවිධ කොටස්‌ හයක්‌ වශයෙන් ක්‍රියාත්මකව පවතී.

සමහර මාධ්‍ය ආයතන නිවාස වැඩසටහනට කිසිදු ප්‍රචාරයක්‌ දෙන්නේ නැහැ. යහපාලන රජයේ සංවර්ධන වැඩසටහන් වලටත් ඒ තත්ත්වයමයි.

එදා පැවැති රජය කාලේ ජනාධිපති මැඳුර හා අරලිය ගහ මන්දිරය හරහා තමයි ප්‍රවෘත්තිවල සිරස්‌තල නිර්මාණය කළේ. අරලිය ගහ මන්දිරයෙන් එන නියෝග ක්‍රියාත්මක නොකළ ලසන්න වික්‍රමතුංග, එක්‌නැලිගොඩ, පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදීන්ට අත් වූ ඉරණම දන්නවාද? ඉන්ධන හා ජලය ඉල්ලූ විට එම ජනතාවට උණ්‌ඩයෙන් පිළිතුරු දුන් අයුරු අමතක වෙලාද? ඒකාබද්ධ විපක්‌ෂය නමින් නැවතත් එම අඳුරු සෙවනැලි ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එම යුගය නැවත බලයට ගෙන ඒම සඳහා මාධ්‍ය ආයතන කිහිපයක්‌ උත්සාහ කරනවා” යෑයි පැවැසීය.