FAST NEWS

24×7 Around the Globe

ජැමෙයිකාවේ උසේන් බෝල්ට් පරාජයට පත් වෙයි..

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම කෙටිදුර ධාවන ශූරයා ලෙස සැළකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ඔහුගේ අවසන් මීටර 100 ජාත්‍යන්තර ඉසව්වේදී පරාජයට පත් වී තිබේ.

ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ ඊයේ පැවති මීටර 100 අවසන් තරගය ජයග්‍රහණය කළේ අමෙරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින්ය.

ඔහු තත්පර 9.92 කින් ඉසව්ව නිම කරමින් රන් පදක්කම ජයග්‍රහණය කළ අතර, තවත් අමෙරිකානු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියන් කෝල්මන් තත්පර 9.94 කින් ඉසව්ව නිම කරමින් රිදී පදක්කම දිනාගත්තේය.

තත්පර 9.95 ක් ගත කළ උසේන් බෝල්ට්ට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

 ඔලිම්පික් සහ ලෝක ශූරතා රන් පදක්කම් 19 ක් දිනා ඇති උසේන් බෝල්ට් මීටර 100 ලෝක වාර්තාවේ හිමිකරුය.

පිට පිට ඔලිම්පික් තරගාවලි 3 කදී මීටර 100, 200 සහ මීටර 100 සහය දිවීමේ රන් පදක්කම් ජයග්‍රහණය කළ උසේන් බෝල්ට් ලන්ඩන් ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියෙන් පසු පිටියෙන් සමුගනී.

උසේන් බෝල්ට්ට ජාත්‍යන්තර මට්ටමේ 20 වන රන් පදක්කම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැක්කේ ලන්ඩන් ලෝක ශූරතා තරගාවලියේ මීටර 100 සහය දිවීමේ තරගයටද ඔහු සහභාගී වන බැවිනි.

සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් මෙම තරගාවලියට පෙර ප්‍රකාශ කර තිබු‍ණේ රන් පදක්කම ජයග්‍රහණය කරමින් සමු ගැනීම තම අපේක්ෂාව බවයි.