FAST NEWS

24×7 Around the Globe

ජාතික සරුංගල් සැණකෙළිය මෙවර පැවැත්වෙන්නේ මෙහෙමයි..

කයිට් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දිවයිනේ වැඩිම කාලයක් සාර්ථකව පැවැත් වූ එකම සරුංගල් සැණකෙළිය වන “නිල් අහසේ වසන්තය” ජාතික සරුංගල් සැණකෙළිය දසවන වරට මෙම 12, 13 යන දෙදින උදෑසන 8.00 සිට දවස පුරා මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත් වීමට නියමිතය.

මේ සඳහා සංවිධාන සහයෝගය දක්වමින් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බළකාය” මේ වසරේදීත් කයිට් ශ්‍රී ලංකා සමග එක් වී ඇති අතර” සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව“ද කයිට් ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳගෙන ඇත.

මෙම ජාතික සරුංගල් සැණකෙළියට සමගාමීව පවත්වනු ලබන සරුංගල් තරගාවලිය ළමා හා විවෘත යන අංශ දෙක ඔස්සේ පැවැත්වෙන අතර වයස අවුරුදු 15 ට අඩු තේමා තුනක් ඔස්සේ අගෝස්තු 12 සෙනසුරාදා දින ළමා අංශයට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

වඩාත් නිර්මාණශීලී සරුංගලය, ‘මතින් නිදහස් රටක්’ තේමා කරගත් සරුංගලය හා “ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ පරිසර හිතකාමී සරුංගලය එම අංශ වේ.

විවෘත අංශය සඳහා අගෝස්තු 13 ඉරිදා දින තේමාවන් හතරක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි වන අතර වඩාත්ම නිර්මාණශීලී සරුංගලය ‘මතින් නිදහස් රටක්’ තේමා කරගත් සරුංගලය, ‘ඩෙංගු උවදුරින් අත්මිදෙමු’ – පරිසර හිතකාමී සරුංගලය හා හොඳම ප්‍රහාරාත්මක සරුංගලය (ෆයිටිං කයිට්) යන තේමාවන් සඳහා මෙම අංශය ඔස්සේ නිර්මාණය ඉදිරිපත් කළ හැකිය.

හොඳම ප්‍රහාරාත්මක සරුංගලය (ෆයිටිං කයිට්) සඳහා කොම්බුව හා වවුලා සරුංගල් පමණක් ඉදිපත් කළ යුතු අතර ඒවා ප්‍රමාණයෙන් අඩි 1 1/2 ට නොවැඩි විය යුතුයි.

සරුංගල් තරගාවලියට සමගාමීව වැලි නිර්මාණ තරගාවලියක්ද, මීගමුව වෙරළ තීරයේ දී පැවැත්වෙනු ලැබේ.

ළමුන් සඳහා තරගය අගෝස්තු 12 වන දින පැවැත්වෙන අතර විවෘත අංශය අගෝස්තු 13 දින පැවැත්වේ.

ඒ සඳහා ඉදිරිපත් විය හැක්කේ පස් දෙනකුට නොවැඩි ගැහැනු පිරිමි මිශ්‍ර කණ්ඩායම්වලට පමණක් වන අතර සියලුම තරග ලියාපදිංචිය පෙරවරු 8.00 සිට පස්වරු 11.00 දක්වා සිදු කෙරේ.

සෑම අංශයකම ජයග්‍රාහකයන් සඳහා කුසලාන, පදක්කම් හා සහතික සමග වටිනා ත්‍යාග මෙන්ම මුදල් ත්‍යාගද ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.