FAST NEWS

24×7 Around the Globe

යහපාලනාභිෂේකය නෙමෙයි සිදුවුණේ චෞරාභිෂේකය..

2015 ජනවාරි 08 වැනිදා ජනතාව ගොනාට අන්දවලා කඩේ ගිය අයට අද දිට්‌ඨධම්මවේදනීය කර්මයට මුහුණදීමට සිදුව ඇතැයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ජාතික නිදහස්‌ පෙරමුණ මූලස්‌ථානයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් එසේ කී විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 යහපාලනාභිෂේකය සිදුවුණා කියන මිත්‍යාවට ජනතාව අද රැවටී තිබෙනවා. ඒ මිත්‍යාව අපි පෙන්වලා දෙන කොට ඒක පිළිනොගත් අයට ඒ මිත්‍යාව කරා මහජනතාව ගොනාට අන්දවලා කඩේ ගිය අයට අද දිට්‌ඨධම්මවේදනීය කර්මයට මුහුණ දෙන්න සිදු වෙලා.

එදා ජනවාරි 8 වැනිදා යහපාලනාභිෂේකය නෙමෙයි සිදුවුණේ චෞරාභිෂේකය තමයි සිද්ධ වෙලා කියලා ඔවුන්ට සනාථ වෙලා තිබෙනවා. තිබූ ආණ්‌ඩුවේ සියලුම දෙනා හොරු කියා ලේබල් ගහලා, අවමන් කළ යහපාලනාභිෂේකයට කරගහපු උදවිය දැන් එළිපිට නිරුවස්‌ත්‍රව, රෙදි උනා දමමින් තමන්ගේ හොරකම්වල දිග හා පළල මුළු ලෝකයටම විවෘතව පෙන්වන්න පටන් අරන් තිබෙනවා.

හිටපු මුදල් ඇමැති, අද විදේශ ඇමැති රවී කරුණානායක මහතා කොමිසමට ගිහින් දීපු උත්තර දිහා බැලුවාම අර්ජුන් ඇලෝසියස්‌ගෙන් ලැබී තිබෙන සන්තෝෂම් මුදල දිහා බැලුවාම අර්ජුන් ඇලෝසියස්‌ දී තිබෙන ලක්‍ෂ 1650 ක අතිවිශාල මුදල එක්‌ක බැලුවාම රවී කරුණානායක මහතාට පමණක්‌ නොව කෝප් කමිටුවේ හිටපු නෝට්‌ කල්ලියටත් ඉඩම් සහ ගෙවල් අරන් දීලා තිබෙනවා. ඇලෝසියස්‌ලා මේ ආණ්‌ඩුව නටවන හැටි ඒ සන්තෝෂම් දිහා බැලුවාම පේනවා. හිටපු මුදල් ඇමැතිවරයා සුදනා වගේ කියනවා මම දන්නේ නැහැ නෝනා තමයි මේවා කළේ කියලා. ඔය බබා පාට්‌ පිළිගන්න තරම් මේ රටේ මිනිස්‌සු ගොන්නු නෙමෙයි. මෙහෙම එළිපිට මේ විදිහේ චෝදනාවකට ලක්‌වූ පුද්ගලයෙක්‌ කොහොමද විදේශ ඇමැති ධූරයක්‌ දරන්නේ. කොහොමද ලෝකයා හමුවේ රට නියෝජනය කරන්නේ. එහෙම කෙනෙක්‌ විදේශ ඇමැතිවරයා විදිහට ඉන්න විට ශ්‍රී ලංකාවට සිදුවන අවමානය කොතරම්ද? මේ අනුව පේනවා දැන් රවී පමණක්‌ නෙමෙයි, රනිල් වික්‍රමසිංහ, මලික්‌ සමරවික්‍රම යන අයත් එකතු වෙලා තමයි මේ මහ බැංකු හොරකම කළේ.

මිතුරන්ගෙන් පහරකෑමට ලක්‌වූ නිසයි වේදනාව කියා රවී කියනවා. කවුද මිතුරන්? අගමැති රනිල් වික්‍රමසිංහද? නැතිනම් මලික්‌ සමරවික්‍රමද? රවීට ඒ මිතුරන් හැරෙන්න වෙන මිතුරන් ඉන්නවාද? ඉතාම පැහැදිලියි මේ කල්ලියේ එකතුවෙන් තමයි රටේ ආදායමෙන් හොරාකෑවේ. ගිය ආණ්‌ඩුවේ එක්‌ කෙනෙක්‌ට ඇත්තට හෝ බොරුවට හෝ චෝදනාවක්‌ තිබ්බා නම් කියන්නේ වියදමෙන් හොරාකෑවා කියලා.

කලින් චෝදනා කළේ අර සංවර්ධන ව්‍යාපෘතියෙන් හොරකෑවා මේ සංවර්ධන ව්‍යාපෘතියෙන් හොරාකෑවා කියලයි. දැන් කරන්නේ රටේ ආදායමෙන් හොරාකෑමයි. රටේ කිසි වැඩක්‌ කරන්නෙත් නැහැ. ණය නම් කප්පරක්‌ අරන් තිබෙනවා. එහෙන් පොලිස්‌පති කියනවා කොටි ආයේ නැගිටිනවා කියලා. උතුරේ පොලිස්‌ නිලධාරීන්ට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක්‌ තිබෙන්නේ. වැව් දහස්‌ ගණනක්‌ හිඳිලා ගොවීන්ට වගා කරන්න වතුර නැහැ. අඩුම තරමේ ගොවීන්ට කිසිම සහනාධාරයක්‌ නැහැ. මේ මොනවත් නොකර හොරකම් නම් කරගෙන යනවා.”