FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධීන් පෙළපාළියෙන් යා යුත්තේ තංගල්ලේ කාල්ටන් එකටයි..

සයිටම් විරෝධී පෙළපාළියෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඇතුළු වෛද්‍යවරුන් පෙළපාළියෙන් යා යුත්තේ ජනාධිපති මැඳුරට හෝ අගමැති මැඳුරට නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ කාල්ටන් නිවසට හෝ කොළඹ පිහිටි නිවසට බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන ඊයේ (02) ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගංවතුරෙන් විනාශ වූ පවුල්වලට ලක්ෂ 15ක මුදල් ආධාර පිරිනැමීමේ උත්සවයකදීය.

අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“2010 වර්ෂයේ කෝටි ගණන් මුදලක් සයිටම් ආයතනයට ලබා දෙමින් සයිටම් වෛද්‍යපීඨ ආරම්භ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2014 වනතුරු සයිටම් ආයතනය පෝෂණය කරමින් තමන්ගේ හිතවතුන්, ඥාතීන් මෙන්ම මහාරජාණෝ ගීතය ගායන කළ දැරියට පවා නොමිලේ ශිෂ්‍යත්ව ලබාදෙමින් කටයුතු කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ උද්ඝෝෂණ නොකළ අය අද උද්ඝෝෂණ කරනවා නම් යා යුත්තේ වැරැද්ද කළ පුද්ගලයාගේ නිවෙස්වලටයි.

අද මාධ්‍ය වැරදි ලෙසයි ක්‍රියා කරන්නේ. ලෝකයේ කිසිම රටක ඉඩම් වෙනත් රටකට විකුණන්නට නීතියක් නැහැ. නමුත් මාධ්‍ය තොරතුරු හරියට තේරුම් නොගෙන හම්බන්තොට වරාය විකුණලා, ත්‍රිකුණාමල වරාය විකුණන්න යනවා, පෝට් සිටිය විකුණලා වැනි තේරුමක් නැති, නීති විරෝධී වාර්තාවන් ප්‍රකාශයට පත්කරනවා. ආයෝජකයන්ට එන්නට ආරධනා කරනවා මිස විකිණීමට අපේ රජය කිසිම රටකට ආරාධනා කර නැහැ. ආයෝජකයන් නොපැමිණියොත් අපේ රට සංවර්ධනය කරන්න අපට පුළුවන්කමක් නැහැ”