FAST NEWS

24×7 Around the Globe

ජර්මනියට ගොස් පුරවැසි බව ගත් අයෙක් ඇල්ලීමට ජාත්‍යන්තර පොලිසියෙන් සහාය..

යාපනයේ පදිංචිව සිට ජර්මනියට පැන ගොස් එහි පුරවැසි භාවය ලබා ගත්තේ යැයි කියන මුහුණු පොතේ සාමාජිකයකු ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය මත අත්අඩංගුවට ගැනීමට වතුකරයේ නියෝජනය කරන දේශපාලනඥයන් කිහිපදෙනෙක් මේ වන විට කටයුතු කරමින් සිටිති.

එම මුහුණු පොතේ සාමාජිකයා, ඉන්දිය සම්භවයක් ඇති වතුකරයේ හින්දු ජනතාව සහ ඔවුන්ගේ දුදරුවන්ට අපහාසත්මක ලෙස අසභ්‍ය වචනයෙන් බැණවැදී ප‍්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධා කි‍්‍රෂ්ණන් මහතා ඇතුළු වතුකරයේ තරුණයන් පිරිසක් විසින් නුවරඑළිය දිස්ති‍්‍රක් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් මහතාට පෙරේදා (31) පැමිණිලි කර පසුව හැටන් පොලිස් අධිකාරිවරයා ඉදිරියේදී පැමිණිලි කර ඇත.

එම පැමිණිලි පිටපත් රැගෙන පොලිස් මුලස්ථානයේද පැමිණිල්ලක් කර ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය මත එම මුහුණු පොතේ සාමාජිකයා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනවිත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධා කි‍්‍රෂ්ණන් මහතා පැවසීය.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලිකර ඇති වතුකරයේ තරුණයන් පැවසුවේ මුහුණු පොතේ ප‍්‍රකාශයත් සමග වතුකරයේ ජනතාව දැඩි කලකිරීමට පත්වී ඇති බවත්, මුහුණු පොතේ සාමාජිකයා කිසි දිනක වතුකරයේ ජනතාව පිළිබදව කිසිදු දැනීමක් හෝ වතුකරයට පැමිණි අයකු නොවන බවත්ය.