FAST NEWS

24×7 Around the Globe

2011 ලෝක කුසලාන පරාජයේ හේතුව මුරලි මාධ්‍යට හෙළි කරයි..

2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය පරාජය වීමට හේතුව තරග පාවාදීම නොවන බවත්, කණ්ඩායම විසින් කළ වැරදි ගණනය කිරීම් බව හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මාධ්‍ය ආයතනයක් වෙත සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින් සඳහන් කර තිබේ.

“ 2011 ලෝක කුසලාන තරගාවලියේදී හොඳම කණ්ඩායම ඉනිදියාවයි. ඊට පස්සේ තමයි අපි හිටියේ. අවසන් තරගයේදී සිදුවීම් දෙකක් සිදුවුණා. එකක් තමයි අවසන් පූර්ව තරගයේදී මම ආබාධයට ලක්වීමත් තරගාවලියේ හොඳින් ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස්ට අවසන් තරගයට ක්‍රීඩා කළ නොහැකි ලෙස ආබාධයකට ලක්වීමත්. මම තමයි වැඩිම කඩුලු ලාභියා වුණේ.

සංගා, මහේල, ඩිල්ෂාන් හා මහේල පිතිකරුවන් ලෙස හිටියේ. මැද පෙළ අඩුව ඇන්ජලෝ විසින් පුරවමින් සිටියේ. නමුත් අවසන් තරගයේදී ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.ඒ නිසා වෙනස්කම් කිරීමට සිදු වුණා. ඒ අනුව තේරීම් කමිටුව තීරණයක් අරගෙන තරගාවලියේ ක්‍රීඩා කළ කණ්ඩායමට වෙනස්ම කණ්ඩායමක් අවසන් තරගයට ගෙනාවා. වෙනස්කම් තුන හතරක් සිදු වුණා.

අපිට හොඳ පිතිකරුවන් නැතිනම් අපි සාමාන්‍යයෙන් හඹායෑමට බියක් දක්වනවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම තේරීම් කමිටුවද හිතුවේ මුලින්ම පන්දුවට පහර දෙන්නයි. මගේ මනසේ තිබුණා වගේම ඔවුන්ට මම මෙය කිව්වා මගේ දැක්ම නම් දෙවැනියට පන්දුවට පහරදීම බව.

වන්කඩේ ක්‍රීඩාංගණයේදී  (අවසන් තරගය පැවැති) අපි නවසීලන්තය හා පැවැති තරගයේදී අපි මුලින් පන්දුවට පහරදී ලකුණු දෙසිය අසූ ගණනක් රැස් කළා. ඒ තරගයේදී මම කඩුලු හතරක් හෝ පහක් දවා ගත්තා. පන්දුවාර 20 වන විට අපි ඔවුන්ගේ කඩුලු 7ක් පමණ් දවාගෙන තිබුණා.

ඉන් පසුව පින්න පැමිණියා අපට අනෙක් කඩුලු තුන දවා ගැනීමට සිදු වුණේ ප්‍රතිවාදීන් ලකුණු 120ක් පමණ රැස් කළ විටයි. මම ඒ ගැන ඔවුන්ට මතක් කළා. අපි මුලින් පන්දුවට පහරදී ලකුණු 300ක් රැස්කළත් ඉන්දියාව එය හඹා යන බව ඔවුන්ට පැහැදිලි කළා. ඉන්දියාව තුළ බොහෝ කණ්ඩායම් හඹා ගොස් තරග ජය ගන්නවා.නමුත් සංගා කිව්වේ පින්න එනවානම් යම් කිසි දෙයක් ස්ප්‍රේ කරන බව තරග තීරක පැවසූ බවයි.

අපි පන්දු යැවීම ආරම්භ කර 15 වැනි පන්දුවාරයෙන් පස්සේ පින්න පැමිණියා. පළමු විකට්ටු දෙක අපි ඉක්මනින් ලබා ගත්තත් මාලිංගටවත් කිසිවක් කිරීමට නොහැකි වුණා. මොකද පන්දුව තෙත් වෙලා තිබුණේ. පන්දුව දඟ කැවුණේ නෑ. අපි දෙවැනිට පන්දුවට පහර දුන්නා නම් අපිට අවස්ථාවක් තිබුණා.  අපි තරගය පැරදුණේ තරග පාවාදීමක් නිසා නොවෙයි. අපේම වැරදි ගණනය කිරීම් නිසා.”