පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේදී පකිස්ථානු රජය විසින් පැනවූ නව නියාමන බද්ද මගින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාවය පිළිබදව කඩිනමින් සොයා බලා එයට අවශ්‍ය විසදුම් වහා ලබාදීමට මැදිහත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
මෙරට පකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා හා අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අද (31) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අමාත්‍ය වරයා මේ බව පැවසීය.
පසුගිය ජුලි මස පළවෙනිදා (01) සිට ලංකාවෙන් පකිස්ථානයට අපනයනය කරන බුලත් සදහා කිලෝවකට ශ්‍රී ලංකා රුපියල් දෙසීය අනූඑකක (291) නව නියාමන බද්දක් පනවා ඇති අතර එම නිසා දේශිය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයන කරුවන්ද දුෂ්කරතාවකට පත්ව ඇත.
මෙහිදී අදහස් දැක්වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ මෙම නව බද්ද මගින් දේශීය බුලත් වගාකරුවන් හා බුලත් අපනයනකරුවන් පත්ව ඇති ගැටලු විසදා ගැනීමට තමා හා තම අමාත්‍යාංශය මැදිහත් වන බවය.







