පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප්‍රමාණය වෙනස් කර ආණ්ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින දුටුවද අලුත් ආණ්ඩුවක් සෑදීමට නම් තම කැමැත්ත සහ ආශීර්වාදය අනිවාර්යයෙන් ලබා ගත යුතු බව සියලු දෙනා සිහි තබා ගත යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවේ ආසන 113ක් හදා ගැනීමෙන් පසුව ආණ්ඩුව සහ ජනාධිපතිවරයාත් අවසන් බවට විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් ජාතික පුවත්පතකට කර තිබූ ප්‍රකාශය සිහිපත් කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ආසන 113ක් ලබා ගත්තද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අලුත් ආණ්ඩුවක් සාදා ගැනීමේ සිහිනය තම ආශීර්වාදයෙන් තොරව කිසිවකුට ඉටුකර ගත නොහැකි බවත් සඳහන් කළේය.
රටක් ලෙස ඉදිරියට යෑමට තිබෙන බාධක ඉවත් කර ගනිමින් වත්මන් ආණ්ඩුව සිය කටයුතු ඉදිරියට කරගෙන යද්දී පුහු ඝෝෂාකාරීන් පිරිසක් විසින් රට තුළ විවිධ නොසන්සුන්තාවන් ඇති කරමින් සිටින බවත්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (31) එක්වෙමිනි.









