FAST NEWS

24×7 Around the Globe

රියදුරු බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක්..

රියදුරු බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ අවධානය යොමුව තිබේ.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරයක් යටතේ සිදු වීම නිසා යම් යම් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී ඇති බවත්, එම තත්ත්වය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති බවද මෙහිදී පෙන්වා දී ඇත.

ඒ අනුව රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන්ට අමතරව, සුදුසුකම් සහිත වෙනත් පාර්ශ්ව හඳුනාගැනීමට මෙහිදී යෝජනා වී තිබේ.

එමඟින් වඩාත් ගුණාත්මක ලෙස මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටත්, මනාව නියාමනය කිරීම තුළින් තමන් විසින් සමත් කරනු ලබන රියදුරු බලපත්‍ර අපේක්ෂකයින් සම්බන්ධයෙන් වගවීමක් ඇති කරලීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව පැවසේ.

මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් අධ්‍යනය කර වාර්තාවක් ලබාගැනීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයා ගෙනා යෝජනාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.