මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරනු ලබන අලුත්ම චිත්‍රපටය වන්නේ ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’ සිංහල චිත්‍රපටය වන අතර එහි ප්‍රධාන චරිත ද්විත්වය වන යශෝධරාවන්ගේ සහ සිද්ධාර්ථ කුමරුන්ගේ චරිත නිරූපණයට තෝරාගෙන ඇත්තේ ඉන්දීය නළු නිළි යුවළකි.
නළුවා අර්පිත් චෞද්‍රි (Arpit Choudhary) වන අතර, නිළිය පල්ලවි සුභාෂ් (Pallavi Subash) වෙයි.
අර්පිත් චෞද්‍රිගේ නම අරවින්දන් චෞද්‍රි ලෙස චිත්‍රපටය වෙනුවෙන් වෙනස් කිරීමේ අරමුණක් පවතින බව, මෙම යුවළ ලාංකීය මාධ්‍ය තුළින් රටට හඳුන්වාදීමේ හමුව පැවති පසුගිය ජූලි 04 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ රූබි ශාලාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දැනුම් දුන්නේය.
මෙහිදී වැඩිදුරට අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
“දහතුන් වැනි ශතවර්ෂයේ මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ රචනා කරපු පූජාවලියේ සටහන් ඇසුරු කරගෙනයි මම මේ බිම්බාදේවි හෙවත් යශෝධරා තිර නාටකය සකස් කළේ. පොතපතේ පවා අඩුවෙන් ලියැවී ඇති යශෝධරාවන් පිළිබඳව සිනමා මාධ්‍යයෙනුත් කතාවී ඇත්තේ අල්ප වශයෙන්. මෙවර මම නිර්මාණය කරපු මෙම චිත්‍රපටය ලාංකීය සිනමාවේ සිහිවටනාත්මක කෘතියක් වනු ඇති බවට මගේ ලොකු විශ්වාසයක් පවතිනවා.
යශෝධරාවන් හා සිද්ධාර්ථ චරිත දෙක පමණක් නොව චිත්‍රපටයේ අවශේෂ චරිත සඳහාත් ලංකාවේ ප්‍රසිද්ධ නළු නිළියන් තෝරා ගැනීමෙන් වැළකී සිටීමට මමත්, නිෂ්පාදකවරයා වන එච්.ඩී ප්‍රේමසිරි මහතාත් ඇතුළු නිෂ්පාදක කණ්ඩායම දැඩිව එල්බගෙන සිටියා. ඊට හේතුව වූයේ එම ජනප්‍රිය පුද්ගල චරිත දැකීමෙන් මෙම ගෞරවනීය චරිත පිළිබඳව ප්‍රේක්ෂක මනසේ ඇති විය යුතු විශ්වසනීයත්වය පළුදු වේ යැයි අප කල්පනා කළ නිසයි.
විශේෂයෙන්ම සිද්ධාර්ථ හා යශෝධරා චරිත දෙක පිළිබඳව අප ගැඹුරින් සිතා බැලුවා. එකක් තමයි එම චරිතවලට ප්‍රසිද්ධ නළු නිළියන් ගැනීමෙන් එම පූජනීය චරිතවලට කැළැලක් වීමට ඉඩක් තිබීම. එමෙන්ම ඇතැම් විට මේ චරිත සඳහා තෝරාගන්නා නළු නිළි යුවළ සමහර විට ඊළඟ සතිය වන විට මීට හාත්පසින්ම වෙනස් විදියේ චරිතවල රඟපාමින් අපේ චිත්‍රපටය තිරගත වීමටත් පළමුව චිත්‍රපටයෙන් අප අරමුණු කරගත් ප්‍රතිරූප විනාශ කිරීමට ඉඩ ඇති බව අප උපකල්පනය කිරීම.. එම අරමුණ අනුව බුදුන් උපන් දේශයෙන්ම නළු නිළි යුවළක් තෝරා ගැනීමට පසුව අප තීරණය කළා.”
ඡායාරූප පහතින්..



















