FAST NEWS

24×7 Around the Globe

අමරණීය ගායක ජෝතිපාල දිවි ගමනින් සමුගෙන වසර 30යි..

හෙළ සිනමාවේ වැඩිම චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළ ගායන ශිල්පියා වන එච්.ආර් ජෝතිපාල කලාකරුවා දිවි ගමනින් සමුගෙන අදට (ජූලි 07 වැනිදාට) වසර 30ක් සපිරෙයි.

අභාවප්‍රාප්ත වන විට 51 වැනි වියේ පසු වූ ඔහුව සිහි කරමින් එච්.ආර් ජෝතිපාල පදනම සහ කලා ලංකා පදනම ක්‍රියාකාරකම් ගණනාවක් සංවිධානය කර ඇත.

1956 වසරේ තිරයට පැමිණි සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ “සුරතලී” චිත්‍රපටයට “සිරියාමේ සාරා” ගීතය ගයමින් තම සිනමා ගායන දිවිය ඇරඹූ ජෝති, “කස්තුරි සුවඳ”, “තුෂාරා”, “ස්විප් ටිකට්”, “කවුද රජා”, “හොඳට හොඳයි”, “වාසනා”, “සංගීතා” ඇතුළු චිත්‍රපට රැසක එඩී ජයමාන්න, බොනිෆස් ප්‍රනාන්දු, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, රෝයි ද සිල්වා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, ඔස්වල්ඩ් ජයසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, ජයන්ත දාස් පෙරේරා ඇතුළු නළුවන් වෙනුවෙන් තම කටහඬ පසුබිම් ගායකයෙකු ලෙස ලබා දී ඇත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ “සංදේශය” චිත්‍රපටයට “පෘතුගීසිකාරයා” ගීතය ගැයීමට ඔහුට අවස්ථාව ලද අතර, ගායනයට අමතරව “ඇතුල්වීම තහනම්”, “සුලලිත සෝභනී”, “සුජීවා”, “සුකිරි කෙල්ල”, “අභිරහස”, “සුමිතුරෝ” වැනි චිත්‍රපට වලින් ඔහු සිනමා නළුවෙකු බවටද පත්විය.

එච්.ආර් ජෝතිපාලයන්ගේ ඇති සුවිශේෂී බව වන්නේ දිවිගමනින් සමුගෙන වරස 30ක් (දශක තුනක්) ඉකුත් වීමෙන් අනතුරුවත් අදටත් ජනතාව ආදරයෙන් වැලඳගත් ගායකයෙකු බවට පත්වීමට ලැබූ වාසනාවයි.

මේ හේතුව නිසාම ඔහු අමරණීය ගායක ජෝති යන විරුධාවලියද ලබා ඇත.