FAST NEWS

24×7 Around the Globe

මහින්දව කැඳවගෙන ගිහින් විද්‍යාරත්න තර්ජනය කරලා…

උමාඔය ව්‍යාපෘතියෙන් හානියට පත් බණ්ඩාරවෙල නිවාස ඊයේ (03) දින උදේ නිරීක්ෂණයක යෙදී සිටියදී ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා නිවසක් තුළදී තර්ජනාත්මකව මේ ව්‍යාපෘතිය නවතා දමන බවට පිළිතුරක් ගැනීමට උත්සාහ කළ නිසා කළබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත රැස්වීම නවතා දැමූ බව මහවැලි රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

බණ්ඩාරවෙල වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමැතිවරයා එසේ පැවැසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවැසීය.

මම අද උදේ බණ්ඩාරවෙලට ඇවිත් උමග නිසා හානියට පත්වූ නිවාස බලන්න ගියා. පාසල් දෙකක් නිරීක්ෂණය කළා. ගෙවල් කිහිපයක් බැලුවා. ඒ අතරතුර ඌව පළාත් සභාවේ ජේ.වී.පී. මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නත් මා එක්ක ගෙවල්වලට ගියා. මම සමඟ හොඳට ගිය සමන්ත කැඩී ගිය ගෙයකට මාව ගෙන්නාගෙන ගොස් මට තර්ජනාත්මකව කියා සිටියේ උමාඔය ව්‍යාපෘතිය නවත්වන බවට ප්‍රකාශයක් දෙන්න කියලයි. මට එහෙම මේක නතර කරන්න කියලා කියන්න බෑ. මේක නතර කරනවද කරගෙන යනවාද කියලා කියන්නේ විශේෂඥයන්. ඒ අය ඇවිත් දෙන උත්තරයට කටයුතු කරන බව මා කීවත් එතැන හිටිය අය පිළිගත්තේ නෑ. සවස 2.30ට තියෙන රැස්වීමේදී මේ ගැන කතා කරමු කියලා මා කීවත් ඒවා ගණන් ගත්තේ නෑ.

එතැන ජේ.වී.පී. පාක්ෂිකයන් පිරිසක් තමයි හිටියේ. ඒ අය මට එළියට එන්න දුන්නෙත් නෑ. මගේ බෙල්ල මිරිකලා හරි උමාඔය ව්‍යාපෘතිය නතර කරනවා කියන වචනය මගෙන් ගන්නයි බැලුවේ.