FAST NEWS

24×7 Around the Globe

බස්‌ ගාස්‌තු වැඩිවීම ගැන ජනතාව දොස්‌ නගන හැටී..

මරදාන බී. එස්‌. චිත්‍රලතා මහත්මිය-
බස්‌ ගාස්‌තු වැඩි කිරීම හරිම අසාධාරණයි. මිනිසුන්ට වැලේ වැල් නැතිව ඉන්න වෙලාවේ බස්‌ ගාස්‌තු වැඩි කිරීමෙන් මගීන් වන අපි තවත් අනාථ වෙලා. මේ යහපාලන ආණ්‌ඩුව ඉන්න තාක්‌කල් මගී ජනතාවට කිසිදු සැනසීමක්‌ නැහැ

අතුරුගිරිය නිමල් ජයතුංග මහතා-
මම හැමදාම බස්‌ එකේ යන්නේ. ඩීසල් වැඩි වුණෙත් නැහැ. මෙන්න බස්‌ ගාස්‌තු වැඩිකරනවා. මේවා අසාධාරණයි. බස්‌වල යන්නේ හයි මිනිස්‌සු නොවෙයි. බොහොම සාමාන්‍ය පැලැන්තියේ පුද්ගලයන්. බස්‌ ගාස්‌තු වැඩි කිරීමට පෙර මගී ජනතාවගේ අදහස්‌ විමසන්න තිබුණා. ඒක තමයි හරිදේ?

රාජගිරිය වී. රාජා මහතා-
ආණ්‌ඩුව හැම දෙයක්‌ම වැඩි කරනවා. බඩු මිල වැඩි කළා. බදු ගහනවට ගහනවා. දැන් බස්‌ ගාස්‌තුත් වැඩි කරලා. මේවා හරි අසාධාරණයි. කොහෙන් ගියත් සාමාන්‍ය මිනිසුන් වන අපි තමයි තැලෙන්නේ. රටේ කිසිම සංවර්ධනයක්‌ නම් වෙන්නේ නැහැ. ඒත් ජනතාව හූරාගෙන නම් කනවා. කොහොමත් ජනතාව මේ විදිහට තලා පෙළන කොට ඡන්දේදී නියමට පිළිතුරු ලබාදේවි.

බොරැල්ල එම්. ඒ. යසපාල මහතා-
බස්‌ ගාස්‌තු වැඩි කිරීම ගැන නම් මගේ සතුටක්‌ නැහැ. හරි අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. දැන් රටම කුණු වෙලයි තියෙන්නේ. මේ ආණ්‌ඩුව පත්වුණු දවසේ ඉඳන් අපිව හිඟන්නෝ. ඩීසල් මිල වැඩි වුණෙත් නැහැ. බස්‌ ගාස්‌තු වැඩි කරනවා. මොනතරම් සහගහන අපරාධයක්‌ද මේක. ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට මේවා තේරෙන්නේ නැහැ. මොකද ඒ අය බස්‌වල යනවයෑ.

කොළඹ සුනිල් අල්විස්‌ මහතා-
බස්‌ ගාස්‌තු වැඩි කිරීම මට නම් දරාගන්න බැහැ. බස්‌ ගාස්‌තු වැඩි කරලා කියලා අපේ පඩි වැඩි වෙනවයෑ. මේවා මහා ජරා වැඩ. ආණ්‌ඩුව ඕන ඕන විදිහට නටනවා. සාමාන්‍ය ජනතාව තුට්‌ටුවකටවත් මායිම් කරන්නේ නැතුව.

කැලණිය කේ. රාණි මහත්මිය-
බස්‌ ගාස්‌තු වැඩි කරපු එක ගැනනම් මගේ මනාපයක්‌ නැහැ. මේ වැඩි කිරීම නිසා බස්‌ කොන්දොස්‌තර මහත්වරුන් තවත් උඩින් යාවි. දැන් ඉතිරි මුදල වන රුපියල, දෙක දෙන්නෙම නැහැනේ.

පෙරේදා (1 වැනිදා) සිට බස්‌ ගාස්‌තු වැඩිවීම සම්බන්ධයෙන් මගී ජනතාවගේ අදහස්‌ විමසන්නට කොළඹ ඇතුළු ස්‌ථාන කීපයක සංචාරය කළ අවස්‌ථාවේ මොවුහු එසේ කියා සිටියහ.