ශ්‍රී ලංකාවට සහල් ආනයනය කරන රටවලින් මිල ගණන් ලබාදෙන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැතිවරයා ඉල්ලීමක් කොට තිබේ.
ඔහු මේ ඉල්ලීම කර තිබෙන්නේ එම රටවල මෙරට සිටින තානාපතිවරුන් සමඟ එම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
දේශීය වෙළෙඳපොළේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව පළ කෙළේ සිය අමාත්‍යාංශයේදී විදේශ තානාපතිවරුන් පිරිසක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මේ සාකච්ඡාවට ඉන්දුනීසියා තානාපති ගුස්ටි න්ගුරාත් ආඩියාසා , තායිලන්ත තානාපතිනි චූලාමනී චාර්ට්සුවාන් , වැඩබලන පාකිස්තාන් මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
මෙහිදී ඉන්දුනීසියාව, තායිලන්තය හා පාකිස්තානය යන රටවලින් සහල් ආනයනය සඳහා මිල ගණන් තම අමාත්‍යාංශය වෙත ලබාදෙන මෙන් අමාත්‍යවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කෙළේය.
ආනයනයට නියමිත සහල්, විශේෂඥයන් කණ්ඩායමක් යටතේ පරීක්ෂා කර බලා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා කඩිනමින් ආනයනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කලේය.
මෙහි පළමු අදියර යටතේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.