” අපි කිව්වා මේ දෙන්නට ඔය මඟුල හරියන්නෙ නැහැ කියලා. පොරොන්දම ගැළපෙන්නෙ නැහැයි කිව්වා. පක්ෂ දෙක දෙපැත්තට යනවා. ප්‍රතිපත්ති වෙනස්. රට විකුණාගෙන කනවා. ඒ අය සමඟ එකතු වෙලා අපේ අයත් අත උස්සනවා. අපේ ප්‍රතිපත්ති වෙනස් නිසා අපි අයින් වුණා. විපක්ෂයට ගියා. ඒ අයගේ පාලනය අපිට ගැළපෙන්නෙ නැහැ.”
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කලේ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිටපු නායකයකු වූ ආචාර්ය රංජිත් නවරත්න මහතාගේ සිවුවැනි ගුණ සැමරුම නිමිත්තෙන් කුරුණෑගල පැවැති රැස්වීමක් අමතමිනි.
ආණ්ඩුව සැමදාම බොරු කියමින් සංහිඳියාව පිළිබඳව කතා කරන්නට පටන් ගෙන තිබෙන බව කී ඒ මහතා, අප කිසි කෙනෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක් රටට සිදුවී ඇති බවත්, අද රටේ සෑම දෙනාටම ප්‍රශ්න ඇතිවී තිබෙන බවත් සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
“ඒ කාලේ හැම දේටම චෝදනා කළේ මහින්ද රාජපක්ෂටයි. දැන් ආණ්ඩුවත් ජනපතිත් මේවාට වගකිව යුතුයි. දැන් මේ රටේ ඔක්කොම නායකයෝයි. එදා මහින්ද පමණයි. දැන් විධායක බලය හැමෝම පාවිච්චි කරනවා.
ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා හැම අංශයක්ම පීඩාවට පත්වෙලා. හිමිවරුන්ට, රාජ්‍ය සේවකයන්ට දොස් කියනවා. තව පැත්තකින් ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා. මේවායින් අප බේරී සිටිය යුතුයි. අද දොස්තරවරු වර්ජනයේ. ශිෂ්‍යයන්ට කෘර ලෙසින් පහර දෙනවා. ජනාධිපතියි, අගමැතියි මොකවත් දන්නෙ නැහැයි කියනවා. සිසුන් අහිංසකයි කියනවා. එසේ නම් පහරදීලා තිබෙන්නේ අහිංසකයන්ටයි. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.
සියල්ලටම වැරැදිකාරයා මහින්දලු. ජනවාරි 8 වැනිදා දක්වා දිව්වේ අපේ සල්ලිවලින්. දැන් සල්ලි නැහැ. මොනවාද සිද්ධවුණේ? පළමුවැනි අවුරුද්දෙම රජය ණය ගත්තා. ආර්ථිකය කඩා වැටුණා. චෝදනාව ආවේ මටයි. එදා අපි හයිවේ හැදුවා. පැය භාගයකින් කුරුණෑගලට එන්නට තිබුණා. ඒවා දැන් හැදෙනවාද? මේ අය එදා අපි ආරම්භ කළ ගමන නතර කළා. මේවායින් පහර වදින්නේ අපේ දරුවන්ටයි. බඩු මිල වැඩිවන විට, බස් ගාස්තු ඉහළ නඟින විට පහර වදින්නේ කාටද?
රටේ ප්රචාරක මාධ්‍ය හැකි තරම් බොරු බේගල් කියනවා. නොයෙකුත් කතා හදනවා. ඉවරයක් නෑ. මාධ්‍ය මර්දනය කරන්නට යනවා. මාධ්‍යයට තර්ජනය කරනවා. කරුණු කාරණා ජනතාවගෙන් වසං කරනවා.අපි පරෙස්සමින් සිටිය යුතු කාලයයි දැන් පැමිණ තිබෙන්නේ.”