කොට්ටාව – හොරණ පාර ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලීසියට පාපොච්චාරණයක් සිදුකර තිබේ.
එමඟින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තරුණිය සමග තමන් මීට පෙර ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බවත්, සති කිහිපයකට ඉහතදී එය නවතා දැමූ බවත් හා ඉන් පසුව තමන් තවත් තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය බවත්ය.
ඔහු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ මියගිය තරුණිය තම අලුත් පෙම්වතිය හොර රහසේ හමුවී තමන් පිළිබඳ වැරදි තොරතුරු ප්‍රකාශ කිරීමෙන් උරණවීම නිසා ඝාතනය සිදුකළ බවයි.
නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ(25) පස්වරුවේ පොලීසියට භාර වූ සැකකරු හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
සැකකරු හක්මන – බඩබැද්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන අතර ඔහු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බවටද අනාවරණ වී තිබේ.
කොට්ටාවේ පිහිටි සිය නිවස තුළ කාමරයේ දී ඝාතනට කර තිබූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ සිරුර පසුගියදා හමුවිය.
ඝාතනයට ලක් වූ තරුණියගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ දී සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ තරුණියගේ ගෙල ප්‍රදේශයේ ඉදිරිපසට හා පසුපසට පිහි පහර 20කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ එමගින් අධික ලෙස ලේ වහනය වීම නිසා මරණය සිදු වී ඇති බවයි.
සැකකරු වසර 02කට ආසන්න කාලයක සිට මෙම නිවසට යන එන පුද්ගලයෙකු බවද සඳහන් වන අතර පරීක්ෂණ වලදී අනාවරණය වුණේ සිද්ධිය වන දිනට පෙර රාත්‍රියේ ඔහු මෙම නිවසේ නැවතී සිට ඇති බවයි.









