FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය මත තුනකට බෙදෙති..

සම්මුතිවාදී ආණ්‌ඩුවේ ගිවිසුම් කාලය අවසන් වූ පසුව තවදුරටත් ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරනවාද නැත්නම් ඒකාබද්ධ විපක්‍ෂයට සහාය දෙමින් විපක්‍ෂයේ රැඳී සිටිනවාද එසේත් නැත්නම්…විපක්‍ෂයට ගොස්‌ තනි පක්‍ෂයක්‌ ලෙස කටයුතු කරනවාද යන්න පිළිබඳව ශ්‍රීලනිපය තවමත් දෙගිඩියාවක පසුවන බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පසුගියදා පැවැති ශ්‍රීලනිපය නියෝජනය කරන ආණ්‌ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ හමුවේදී ද මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජන වුවත් එහිදී නිශ්චිත තීරණයකට එළඹ නැත.

ආණ්‌ඩුව නියෝජනය කරමින් තව දුරටත් පාර්ලිමේන්තුවේ සිටීමට පක්‍ෂව වැඩි පිරිසක්‌ එහිදී අදහස්‌ දක්‌වා ඇතත් පක්‍ෂයේ ප්‍රතිපත්ති පාවා දෙමින් එජාපයේ වලිගයක්‌ ලෙස කටයුතු කිරීමට සූදානම් නැති බවටත් ඇතැම්හු අදහස්‌ පළ කර තිබේ.

ඒ අනුව විපක්‍ෂයට ගොස්‌ තනි පක්‍ෂයක්‌ ලෙස සිටීම පිළිබඳවත්, ඒකාබද්ධ විපක්‍ෂයට සහය දක්‌වමින් ඔවුන් හා එකතු වීම පිළිබඳවත් තවත් පිරිසක්‌ අදහස්‌ දක්‌වා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම කාරණා සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොවුණු බවත් රටට, පක්‍ෂයට සහ ජනතාවට වැදගත් තීන්දු තීරණ ගැනීමට පක්‍ෂයක්‌ ලෙස කටයුතු කිරීමේ වැදගත්කම එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන් බවත් වාර්තා වේ.