FAST NEWS

24×7 Around the Globe

උසාවිවල දික්‌කසාද නඩු ගොඩගැසෙන්නේ පිරිසිදුකම අමතක වෙන නිසාලූ..

අද පවුල් ඒකකය තුළ වඩාත්ම ගැටලු ඇතිවීමට ප්‍රධාන හේතුව භාර්යාවන්ගේ අනවශ්‍ය හැසිරීම් හා ඇවතුම් පැවතුම්. මධ්‍යම පාන්තික ගෘහණියන් බොහෝ විට රාත්‍රි ඇඳපු ඇඳුම දිවා කාලය පුරාත් ඇඳගෙනයි ඉන්නේ. මම ඉන්නේ ගෙදරනේ කියලා සමහර කාන්තාවන් පිරිසිදුකම අමතක කරලා. මේ නිසාම අද උසාවිවල දික්‌කසාද නඩු ගොඩගැසිලා යෑයි මහරගම ප්‍රාදේශීය ලේකම් හා කඩුවෙල වැඩබලන ප්‍රාදේශීය ලේකම් බුද්ධි කරුණාසේන මහත්මිය හෝමාගමදී පැවසීය.

සැමියාට වඩා පිළිවෙළට ලස්‌සනට ගෙදර සිටින කාන්තාව සිටිය යුතුයි. ගම රට සමාජයේ වෙන දේවල් ගැන අවදියෙනුත් සිටිය යුතුයි. අද සමාජය තුළ ගෙදර සිටින කාන්තාව තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් නෑ. මේ නිසාම අකාලයේ ලෙඩ රෝගවලට බිලි වෙනවා. ගොඩින් බේරාගත හැකි ලෙඩ අසාධ්‍ය වන තුරුම බලා සිටිනවා.

වස විසෙන් තොර ආහාර වර්ගවලට වඩා ලේසියට පහසුවට කෙටි ආහාරවලට, කඩේ කෑමට දරුවනුත් හුරු කරලා. මංගල්‍යයකට යන්න පැය ගාණක්‌ මුහුණු හැඩ කරගන්න වෙහෙසෙනවා. දෛනිකව තමන්ගේ වත පිරිසිදු කර ගන්නවා නම් පේෂල් කරන්න අවශ්‍ය නෑ. අපේ අම්මලා ආච්චිලා එදා කළ දේවල්වලට අද කාන්තාවෝ ගැරහුවාට එදා කාන්තාව අරපිරිමැස්‌ම නිවැරැදි ආහාර රටාව, ආගම දහමට දරුවෝ හුරුපුරුදු කිරීම කළා.

අද 5 ශිෂ්‍යත්වයට දරුවන් දක්‌කන අම්මලා දරුවන්ව ආගම දහමෙන් ඈත් කරලා. ඊට පස්‌සේ සා.පෙළට, උ.පෙළට යනකොට දරුවට අම්ම තාත්තව අමතක වෙන තරමට විෂයයන්වල බර පටවලා. මේ තත්ත්වය වහ වහා වෙනස්‌ කරගන්න කාන්තාවෝ උනන්දු නොවුණොත් හරසුන් ජාතියක්‌ හා උසාවිවල දික්‌කසාද නඩු ගොඩගසන පිරිසක්‌ හැටියට අපේ කාන්තාවෝ පත්වේවි යෑයි ඇය පැවසුවාය.