FAST NEWS

24×7 Around the Globe

රඹුටන් ලෙල්ලෙන් හොරා අල්ලයි..

 

උඩුගම දකුණ පියතිලක මාවතේ නිවෙසකට ඇතුළු වී රුපියල් හතළිස් දෙදහසක් වටිනා රන් අබරණ සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති පුද්ගලයකු කා දමා තිබූ රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලා ගිය පොලිස් නිල සුනඛ ආටිස් විසින් සොරකමට සම්බන්ධ සැකකරු අල්ලා දී තිබේ.

13 වැනි දින රාත්‍රි මෙම සොරකම කිරීම සඳහා පැමිණි සැකකරු නිවෙසට ඇතුළුවීමට පෙර එහි තිබූ රඹුටන් ගසකට නැඟ රඹුටන් කඩා ගෙන බිමට බැස රඹුටන් කා ලෙලි මිදුලේ දමා ඇති අතර ඊට පසු නිවෙසට ඇතුළු වූ මොහු එහි තිබූ මුදල් හා රන් ආබරණ සොරකම් කර ගෙන පලා ගොස් තිබේ.

මේ සොරකම පිළිබඳ නිවෙසේ අයිතිකරුවන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ ආටිස් නමැති නිල සුනඛයා මෙම ස්ථානයට ගෙන ගොස් ඇත.

එහිදී නිල සුනඛයා භාර කොස්තාපල් ගුණදාස (54387) මහතාගේ මෙහෙයවීම මත එහා මෙහා ගිය සුනඛයා මිදුලේ තිබූ රඹුටන් ලෙලිවලට ඉව අල්ලා ඇති අතර ඊට පසු එම රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලමින් ඉදිරියට ගිය ආටිස් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකට කඩා පැන ඇත.

ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකමේ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර උඩුගම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.