FAST NEWS

24×7 Around the Globe

මිටි බව අඩු කරන්න මෙන්න මේ දේ කරන්න..

 

පෝෂණ ඌණතාවලින් පෙළෙන ළදරුවෙකුට දිනකට බිත්තරයක්‌ ආහාරයට ලබා දීමෙන් මිටි බව ඇති වීම වළක්‌වා සෞඛ්‍ය සම්පන්න උසක්‌ ඇති වීමට මඟපාදන බව ඉක්‌වදෝරයේ සිදුකර ඇති අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

මාස හයක කාලයක්‌ සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව මඳ වශයෙන් හෝ පූර්ණ වශයෙන් තම්බා බැද හෝ ඔම්ලට්‌ එකක්‌ ලෙස සාදා දිනකට වරක්‌ ළදරුවන්ට ලබාදීම ඔවුනගේ පෝෂණ තත්ත්වය නංවාලීමට හේතු වන බව අනාවරණය වී තිබේ.

ළමා රෝග පිළිබඳ සඟරාවෙහි පළ කර ඇති එම අධ්‍යයනයෙහි වාර්තාවට අනුව දරුවන් අතර මිටි බව ඇති වීම වළක්‌වාලීමට ඇති ලාභදායීම ක්‍රියාමාර්ග වනුයේ ඔවුනට බිත්තරයක්‌ දිනකට ආහාරයට ලබාදීමය.

දුර්වල පෝෂණ තත්ත්වය හා ළමා කාලයේ ඇති වන රෝගාබාධයන් හා ආසාධනයන් මිටි භාවය ඇති වීමට ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගෙන තිබේ.

මෙම අධ්‍යයනය පැවැත්වූ ලෝරා ලැන්නොට්‌ටි හා ඇයගේ සහායකයින් ඉක්‌වදෝරයේ දුගී ගම්මානවල වෙසෙන මාස හයත් නමයත් අතර ළදරුවන් 80 දෙනකුට මාස හයක කාලයක් දිනකට බිත්තරයක්‌ බැගින් ලබාදීම සිදුකර ඇති බව සදහන්ය.

‌එම කාලසීමාව අවසානයේදී බිත්තරය බැගින් ආහාරයට ගත් ළඳරුවන්ගේ මිටි භාවය සැහෙන මට්‌ටමකින් වැළකී තිබී ඇති බවත්, අධ්‍යනය පැවැත්වීමට පෙර මෙම ළඳරුවන් සිට ඇත්තේ මිටි භාවයට පත් වන තත්ත්වයක්‌ තුළ බවත් වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 155 ක්‌ දෙනා මිටි භාවයෙන් පෙළෙති.