FAST NEWS

24×7 Around the Globe

විදෙස් අංක වලින් එන ඇමතුම් ඔසවන්නේ බලාගෙනයි..

 

පෙරේදා(10) සහ ඊයේ(11) ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිත කරන විශාල පිරිසකට නොදන්නා ඇමරිකානු දුරකථන අංකයකින් ලැබුණ ‘මිස් කෝල් එකක්‘ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ඩිජිටල් හා යටිතල පහසුකම් ඇමතිවරයාගේ අණ පරිදි විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතන කටයුතු කරමින් සිටී.

මෙම ඇමතුම ලැබුණ වැඩි දෙනෙකුට එය ඔසවන්නට පෙර ‘කට්‘ වී තිබුණ අතර ඇමතුම කුමක්දැයි විමසන්නට සිතා එම අංකයට කිසිවෙකු යළි ලබාගන්නට උත්සාහ කළේ නම් තම දුරකථන බිලට විශාල මුදලක් කැපෙන සේවාවකට නොදැනුවත්ව සම්බන්ධවීමේ අවාසිය අත්විඳින්නට සිදුව ඇතිබව වාර්තා වේ.

වැඩිහිටියන්ට පමණක් වෙන්වූ ඇමරිකානු ඩිජිටල් සේවාවක් මගින් මෙම ප්‍රචාරණ උපාය යොදවා ඇති බවට මේ වනවිට වාර්තා වී ඇත.

ලංකාවේ දුරකථන අංක හිමිකරුවන් පිළිබඳ දත්ත ගොනුව ඔවුන්ට ලැබුනේ කෙසේද යන්න ඉදිරි පරීක්ෂණ වලදී අනාවරණය වනු ඇති අතර මේ පිටුපස දේශීය ජාවාරම් කරුවන් සිටීද නැතහොත් ‘ටෘ කෝලර්‘ වැනි මෘදුකාංග හරහා උකහා ගන්නා දත්ත මේ සඳහා පදනම් කරගත්තේද යන්න සැකයට බඳුන්වී තිබේ.

මෙම ඇමතුම ඇමරිකාවේ සිට හෝ බටහිර කොදෙව් දූපත් සිට මෙහෙයවන කණ්ඩායමක් හසුරුවන බවට සාක්ෂි ලැබී ඇතැයිද ඊයේ(11) සවස වාර්තා විය.

එසේම නොදන්නා විදෙස් අංක වලින් එන ඇමතුම් වලින් ප්‍රවේශම් වන ලෙස ‍විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවට දන්වා සිටී.