ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා ඊයේ (08 දා) දහවල් කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
ගායන ලොවේ කුමාරයා නමින් ප්‍රසිද්ධව සිටි ප්‍රින්ස් මියයන විට 47 හැවිරිදි වියේ පසුවිය.
වසරකටත් වැඩි කාලයක් ඔහු රෝගී තත්ත්වයෙන් පසු වූ අතර, මිය යන අවස්ථාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.
”සුදු මල් පොකුරක්”, ”පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ”, ”වෙරළ කොනක හිඳ”, ”සඳ රේණු වෑහෙනා”, ”ඔබ පෑ පෙම් සිනා”, ”සමුගන්න සමුදෙන්න නම්”, ”සීගිරියේ කුරුටු ගීත ලස්සනයි”, ”සඳ කුමාරියක් දීගෙක යනවා” ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ප්‍රින්ස් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක් විය.
ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා සිය ජීවිතයේ අවසන් කාලයේ තම නැගණිය වන ශිරෝනි ප්‍රියංගිකා මහත්මියගේ දැඩි රැකවරණය මැද ජීවත් විය. අසනීප තත්ත්වයෙන් පසු වූ ප්‍රින්ස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර බේරාගැනීමට ඇය දැඩි උත්සාහයක් ගත්තාය.
ප්‍රින්ස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව ඥතීහු කියති.