FAST NEWS

24×7 Around the Globe

කටාර් වලින් පිටත්ව එන ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්..

සෞදි අරාබිය, ඊජීප්තුව, බහරේන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් හයක් කටාර් රජය සමඟ පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීම හා ගුවන් ගමන් අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් එරට රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයට බලපෑමක් සිදුව නැතැයි කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා පැවැසීය.

අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය හා ඔවුන්ගේ යෝජිත ඉස්ලාමීය රාජ්‍ය සඳහා උපකාර කරන බවට මැද පෙරදිග රටවල් හයක් කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන කටාර් රාජ්‍ය ඒ පිළිබඳ සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් එක් ලක්‍ෂ විසිපන් දහසකට ආසන්න පිරිසක් කටාර්හි රැකියාවල යෙදී සිටින බවත් ඔවුන් සාමාන්‍ය පරිදි එම සේවා කටයුතු කරගෙන යන බවත් පවසන ශ්‍රී ලංකා තානාපතිවරයා, රාජ්‍ය සබඳතා අත්හිටුවීමෙන් පසුව කටාර්හි සුපර් මාර්කට්වල පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙනදාට වඩා වැඩි පිරිසක් එක්රොක්ව සිටින බවත් කීය.

ශ්‍රී ලාංකිකයන් කටාර්වලින් පිටත්ව එන්නේ නම් ගුවන්තොටුපොළ බැංකු ශාඛාවලින් තමන් සතු රියාල් ඇමෙරිකන් ඩොලර්වලට මාරුකර ගන්නා ලෙස තානාපති ලියනගේ මහතා එරට ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

කටාර්හි රැකියාවල යෙදෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් අවශ්‍ය වන්නේ නම් අංක +97455564936 දරන තම දුරකතනය විවෘතව තිබෙන බවද තානපාති ලියනගේ මහතා පැවැසීය.