FAST NEWS

24×7 Around the Globe

ලොව පැරණිම ඇටසැකිල්ල හමුවූ පාහියන්ගලට අත්වෙන්න යන ඉරණම.. (ඡායාරූප)

ලොව පැරැණිම පූර්ණ ඇටසැකිල්ල හමුවූ පුරාවිද්‍යාත්මකව වැදගත් සාක්‍ෂි සහ සාධක රැසක් පිහිටා ඇති පාහියන්ගල ලෙන නාය යෑමට ආසන්නව ඇතැයි පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

පාහියන්ගල ලෙන පිහිටා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙහි රත්නපුර දිස්ත්‍රික්කයට මායිම්ව වන අතර එහි උස මුහුදු මට්ටමේ සිට අඩි එක්දහස් දහයකි.

ලෙනෙන් හමුවූ ඇට සැකිල්ල වසර පනස් අට දහස් තුන්සීයකට වඩා පැරැණි බවත් එය මෙතෙක් හමුවී ඇති නූතන මානවයාගේ පැරැණිම ඇට සැකිල්ල බවත් ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

මේ ලෙන ඇතුළු ප්‍රදේශය නාය යෑමට ලක්වුවහොත් ප්‍රාග් ඓතිහාසික තොරතුරු ගවේෂණය සඳහාත් මානව පරිණාමය පිළිබඳ තොරතුරු සෙවීම සඳහාත් ඉතා වැදගත් වූ පුරාවිද්‍යා සාක්‍ෂි සියල්ල අපට අහිමිවන බව ආනන්ද සාගර හිමියෝ කියා සිටිති.

නාය යෑම සම්බන්ධව පරීක්‍ෂා කර බැලීමට එහි පැමිණි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් ලෙනට පහළින් වෙසෙන්නාවූ පවුල් 21කට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබේ.

එම පවුල්වලට විකල්ප ඉඩම් සහ නිවාස ලබාදීමට හැකි වුවත් ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ තොරතුරු සාධක ඇති විකල්ප පුරාවිද්‍යා භූමියක් කිසිවකුටත් ලබාදිය නොහැකි බව උන්වහන්සේ පවසති.

පාහියන්ගල ලෙනට යාබදව පිහිටි කන්දද පසුගිය සතියේ ඇදහැලුණු මහ වැස්ස හේතුවෙන් නාය ගිය අතර එයින් පුද්ගලයෝ 21 දෙනෙක් මරණයට පත්වූහ.

නවීන විද්‍යාත්මක ක්‍රමෝපායයන් යොදා ගනිමින් ලෝක උරුමයක් ලෙස සඳහන් කළ හැකි පාහියන්ගල පුරාවිද්‍යා ලෙන රැක ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බව ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

නාය යෑමේ අනතුරක් පවතින හෙයින් ලෙන් විහාරයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේ 30 නමක් එම ස්ථානයෙන් ඉවත් කළ බව පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කීහ.

පාහියන්ගල ලෙන ආශ්‍රිත ප්‍රදේශය නාය යෑමේ අනතුරක් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය දැනුම් දීම අනුව මෙසේ භික්ෂුන් වහන්සේ ලෙන් විහාරයෙන් ඉවත්ව සිටිති.

යම් හෙයකින් පාහියන්ගල ඓතිහාසික ලෙන ආශ්‍රිත ප්‍රදේශය නාය ගියහොත් වසර 30,000කට වඩා පැරැණි දකුණු ආසියාවේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස තොරතුරුද යළි වැළලී යනු ඇතැයි පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ කීහ.

ඡායාරූප පහතින්..