FAST NEWS

24×7 Around the Globe

මර්වින් සිල්වාගෙන් ජනපතිට අමුතුම ආකාරයේ ලිපියක්..

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයට හසු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන් මුදා ගත හැක්කේ වර්තමානයේ එහි සභාපති ධුරය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බව ත් හිටපු ජනපති ඔසවා තැබීමට ක්‍රියා කළ කිහිපදෙනෙකු සහ බැසිල් රාජපක්ෂ මහතා නාම යෝජනා ලබාදීමේ බලය සියතට ගැනීම නිසා තමන්ට අසාධාරණයක් සිදු වූ බව ත් ඔහු සිය ලිපියෙන් සඳහන් කර තිබේ.

එය සනාථ කිරීමට ඇති හොඳ ම සාක්ෂිය ලෙස මර්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ, සන්ධාන මහ ලේකම්වරයාගේ නිවසේ පැවති හමුවට බැසිල් රාජපක්ෂ මහතා පැමිණීම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම බව ය.

රාජපක්ෂවරුන් පෙරමුණට ගෙන ඒමට ක්‍රියා කළ තමන්ට නාම යෝජනා නොදී සිටීමට කිසිඳු හේතුවක් නොමැති බව ද මෙහි සඳහන් ය.

ඊට මුල් වී ඇත්තේ බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ත් පසුගිය ජනාධිපතිවරණයේදී කැලණිය ආසනය පරාජයට පත් කිරීම ත් හංසයා ලකුණ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමත් බව ද මර්වින් සිල්වා මහතා පවසයි.

මේ සියලු කාරණා හේතු කොටගෙන තමන් කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් වීමට ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ලා සිටින බව ද එම ලිපියේ සඳහන් ය.
මර්වින් සිල්වාගෙන්
රාජපක්ෂවරුන්ගෙන් සහ විවිධ පක්ෂවල සිටින කුමන්ත්‍රණකරුවන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදාගත් දිනක තමන් නැවතත් සේවය කිරීමට පැමිණෙන බව පවසන මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත්තේ තමා වෙනුවෙන් කැප වූ ජනයාට හිස නමා ආචාර කරන බව ය.

තමාට කළ අසාධාරණය සම්බන්ධයෙන්, තමාගෙන් බේරුණත්, දෙවියන්ගෙන් බේරුමක් නොමැති බව ද ඔහුගේ ලිපිය අවසානයේ සඳහන් කර තිබේ.