FAST NEWS

24×7 Around the Globe

වසර අටක් තිස්සේ රජයේ රෝහලක වැසිකිළියේ සිටින මානසික රෝගීන් තිදෙනා..

වසර අටක් තිස්සේ මානසික රෝගී කතක් හා මානසික රෝගී පුද්ගලයන් දෙදෙනකුට ප්‍රතිකාර නොකර හබරාදුව රජයේ රෝහලේ (කළුගල රෝහල) වැසිකිළියකට දමා සිටියි.

හබරාදුව රජයේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවක් හා පිරිමි දෙදෙනකු වසර අටක් තිස්සේ මෙලෙස වැසිකිළියකට දමා සිටින බවට ලැබුණු තොරතුරක් මත ඉකුත්දා හබරාදුව රජයේ රෝහලට ගිය අපට මේ රෝගීන් තිදෙනා වැසිකිළියක් තුළට දමා සිටින ආකාරය දැක ගැනීමට ලැබිණි.

හබරාදුව රජයේ රෝහල පිරිමි සහ කාන්තා නේවාසික ප්‍රතිකාර සහ බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් වන අතර මීට වසර අටකට පමණ පෙර කරාපිටිය රෝහලේ සිට නේවාසික ප්‍රතිකාර ගැනීමට යොමු කර ඇති මේ පිරිමි රෝගීන් දෙදෙනා හා කාන්තාවගේ නම් ගම් පවා පැහැදිලිව රෝගීන් ලියාපදිංචි කරන ස්ථානයේ නොමැත.

එම රෝගීන් පිළිබඳ තොරතුරක් පැවැසීමට මේ රෝගීන් තිදෙනාට මතකයක්ද නොමැති අතර ඔවුන් තිදෙනාම මානසික රෝගීන් වුවත් මානසික රෝගීන් සඳහා ලබා දෙනු ලබන ඖෂධ කිසිවක් හබරාදුව රජයේ රෝහලේ නොමැති බවත්, අඩුම තරමින් එම රෝගීන් තිදෙනා පරීක්ෂා කිරීම සඳහා මානසික වෛද්‍යවරයකුවත් හබරාදුව රජයේ රෝහලේ නොමැති බවත් රෝහල් ප්‍රකාශකයෙක් අප සමඟ පැවැසීය.

“ගාල්ලේ ඇති මානසික රෝහලක් වන උණවටුන රෝහලෙන් මෙම රෝගීන් තිදෙනා භාර ගන්නේ නැහැ. අපි මේ අයගෙන් පිරිමි දෙදෙනාට උපාලි සහ ගම්පහ කියලා තමයි කතා කරන්නේ. ඒ මේ අයගේ ඇත්ත නම් ගම් නොවෙයි.

ගැහැනු කෙනාට අපි සුමනාවති කියනවා. සුමනාවති මාතර ඉඳලා කරාපිටිය රෝහලට 2008 වර්ෂයේ ඇවිත් තියෙන්නේ. එයාගෙන් මේ රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්න අනිත් රෝගීන්ට හිරිහැර සිදුවෙනවා. නමුත් අපිට යවන්න තැනක් නැහැ. මේ රෝගීන් බලන්න කිසිම කෙනකුගේ ගෙදරකින් එන්නෙ නැහැ. දැන් අවුරුදු 08ක් විතර මෙහෙම තමයි ඉන්නේ. කිසිම බෙහෙතක් මෙහෙන් දෙන්නේ නැහැ” යැයි හබරාදුව රජයේ රෝහලේ ප්‍රකාශකයෙක් අප සමඟ වැඩිදුරටත් කීය.