දිනකට වයින් වීදුරු භාගයක් හෝ කුඩා බියර් කෑන් එකක් පානය කිරීමෙන් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩි කරන බව ලෝක පිළිකා පර්යේෂණ පදනම මගින් පළකර ඇති නවතම පර්යේෂණ වාර්තාවක සඳහන් කර තිබේ.
එම වාර්තාවට අනුව වයින්, බියර් ඇතුළු මද්‍යසාර පානය පියයුරු පිළිකා අවදානම වැඩිකරනු ලබන එක් සාධකයක් පමණක් වුවත් දිනකට කුඩා වයින් වීදුරුවක් හෝ සාමාන්‍ය වයින් වීදුරු භාගයක් (ග්‍රෑම් 10 ක් පමණ) පානය කරන ආර්තවහරණය (මෙනපෝස්) සිදුව ඇති කාන්තාවකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සියයට 9 කින් වැඩි කෙරේ.
එනම් ඉහත කාණ්ඩයේ සෑම කාන්තාවන් 100 දෙනකුගෙන්ම 13 දෙනකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බව මේ අනුව අනාවරණයවී තිබේ.
පියයුරු පිළිකා ඇතුළු පිළිකා වැළඳීමේ අවදානම අඩු කිරීම සඳහා දිනපතා ව්‍යායාමය, සමබර ආහාර වේලක් ගැනීම, සෞඛ්‍ය සම්පන්න ශරීර බරක් පවත්වා ගැනීම යන කරුණු පිළිපැදීම අත්‍යවශ්‍ය බව මෙම වාර්තාවෙන් අවධාරණය කර තිබේ.
කොළපැහැති එළවළු වර්ග වන ගෝවා හා නිවිති වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා අවදානම අඩු කරන බවට පවතින මතය සනාථ කිරීම සඳහා සාක්ෂි මඳ බවද එහි සඳහන් වේ.