FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ හොඳම ඇමැතිවරුන් ඉවත් කළ සැබෑ හේතුව වහාම රටට හෙළි කරන්න..

ලෝකයේ හොඳම මුදල් ඇමැති සහ විදේශ ඇමැති වත්මන් ආණ්‌ඩුවේ සිටින බවට ආණ්‌ඩුව විසින් ප්‍රකාශ කර සති කිහිපයක්‌ ගත වීමටත් පෙර එම ඇමැතිවරුන් ඉවත් කිරීමේ සැබෑ හේතුව වහාම රටට හෙළි කළ යුතු යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා ඊයේ (22) පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) සිදුකළ කැබිනට්‌ සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මතය පිළිබඳව කළ විමසීමකදී එසේ කී ඩලස්‌ අලහප්පෙරුම මහතා මෙසේද සඳහන් කළේය.

ලෝකයේ හොඳම මුදල් සහ විදේශ ඇමැතිවරුන් හිටියේ වත්මන් ආණ්‌ඩුවේ. ඇයි ඔවුන් ඉවත් කළේ? ඒ ගැන නිල පිළිතුරක්‌ රජය වහාම ලබා දිය යුතුයි.  

ජනමාධ්‍ය ඇමැතිකම මංගල මහතාට ලබා දුන්නේ එළැඹෙන ජනමත විචාරණයේදී මාධ්‍ය මෙහෙයුම සූදානම් කිරීමටයි. එසේම වරාය ඇමැති ධූරයෙන් අර්ජුන මහතාව ඉවත් කළේ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරාය ගිවිසුම් කඩිනමින් අත්සන් කරන්නයි. ඔහු මේ ගිවිසුම් දෙකටම විරුද්ධව කටයුතු කළා. අපි හිතන්නේ නැහැ අර්ජුන දූෂිතයෙක්‌ කියලා.

එසේම මේ කැබිනට්‌ සංශෝධනය ආණ්‌ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනතාවගේ මනස තාවකාලිකව වෙනස්‌ කරන්න කළ දෙයක්‌. තනතුරු මාරු කළා කියලා ප්‍රණීත බෝග අස්‌වැන්නක්‌ ජනතාව බලාපොරොත්තු වෙන්න එපා.