ආණ්ඩුවේ බොහෝමයක් මැති ඇමැතිවරු කල කිරීමට පත්ව ඇති බවත්, එක් සහෝදර ඇමැති කෙනෙකු ගැන කතා කිරීම පසුගිය දින දැකගත හැකි වූ අතර තමන්ගේද කලකිරීම පිට කරන්න ඕන වුණොත් අඬන්න අවුරුද්දක් මදි වන බව රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය.
සිරිපුර රත්මල්කණ්ඩිය වැව ප්‍රතිසංස්කරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
”අපි අද මේ ආරම්භ කරපු වැඩ කොටස මගින් එක පක්ෂයක මිනිසුන්ට වාසියක් වෙන්නේ නෑ. මේක එක්සත් ජාතික පක්ෂයට කරන වැඩක්වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරපු වැඩක්වත්, ඒකාබද්ධ විපක්ෂයට කරපු වැඩක්වත් නොවේ. සියලු ජනතාවට මේ වැඩපිළිවෙල වැදගත් වෙනවා.
විශේෂයෙන්ම අද ගොවි ජනතාව ගත්තහම, ලංකාවේ අපි දකින්නේ කලකිරිච්ච කොට්ඨාශයක් හැටියට. මෙයට යම් යම් අවස්ථාවලදී ස්වභාවික වෙච්ච ප්‍රශ්න, දේශගුණික ප්‍රශ්න බලපෑවා. වැස්ස වෙලාවට නෑ, වහින වැස්ස ප්‍රමාණවත් නෑ. වහින වැසි ජලය එකතු කරන්න වාපි ජල පද්ධතිය අබලන් වෙලා. වැව් කැඩිලා ගිහින්. ඉතිං අපි ඒ දේවල් සංවර්ධනය කරන්න අපේ අමාත්‍යාංශය හරහා විශාල උනන්දුවකින් වැඩකරගෙන යනවා.
අපි දන්නවා, හැබැයි සමහර විට අපිට මීට වඩා වැඩ කරන්න අවස්ථාව තිබුණනම් මීට වඩා දෙයක් කරන්න පුළුවන් ඇත්තටම. අද අපිටත් වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. රාජ්‍ය ඇමැති වරයෙකුට වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. ඒකේ කලකිරීම මේ ඊයේ, පෙරේදා හොඳටම දකින්න පුළුවන් වුණා. අපේ සහෝදර සුජීව සේනසිංහ ඇමැතිතුමාගෙන්. හැබැයි ඒක, තනියම මුහුණ දෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි සමහරු පිට කළේ නැති වුණාට සමස්ථයක් විදිහට තිබෙන ප්‍රශ්නයක්. දැන් සමහර විට මට ඕක පිට කරන්න වුණොත් අවුරුද්දක් හඬා වැළපිලත් මදි. ඉතිං අවුරුද්දක් හඬා වැළපෙන්නේ නැතුව හිනාවෙලා සමහරක් වෙලාවට, වෙන අසාධාරණකම් විඳගෙන වැඩකරගෙන යනවා පුළුවන් විදිහට. සමහර කලකිරිච්ච ජන කොට්ඨාශ අපිට බනිනවා ඔබතුමා මොනවාද ඇමැති හැටියට කරන්නේ කියලා.
අපේ අත් දෙක බැඳලා තියෙන ප්රශ්නය අපි බොහෝ අයව හෙළිදරවු කරන්නෙත් නෑ. ඉතිං මේ අවස්ථාවේ මට මෙහෙම හරි වැඩ ටිකක් කරන්න ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා” යෑයි කියමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.