FAST NEWS

24×7 Around the Globe

මීට පෙර කිසි දිනෙක මෙවන් යුගයක් තිබුණා දැයි මා ප්‍රශ්න කරනවා..

වත්මන් රජය පුවත්පත්වලට කතා කරමින් නොසිටින බවත් නිශ්ශබ්දව රටට වැඩ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීනයේදී ඊයේ (16) ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.

“අප බෙර ගහන්නේ නැහැ. පුවත්පත්වලට කතා කරමින් ඉන්නේ නැහැ. කට වහගෙන රටට වැඩ කරනවා” යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ අතර චීන සංචාරයට එක්වූ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්විණ.

“චීන ජනපති සහ අගමැති හමුවී සාකච්ඡා කළා. පසුගිය වසරේ දී එළැඹුණු ගිවිසුමට අනුව ඇරැඹූ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් මෙම හමුවේ දී සාකච්ඡා කළා. පෝට් සිටි ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ප්‍රගතිය දෙස බලා අප ඊළඟ පියවරට යා යුතුයි. පළමුවෙන්ම හම්බන්තොට සහ කොළඹ වරායන් ලබන දියුණුව නිසා කොළඹ නාවික ගමනාගමන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමටත්, දෙවැනුව හම්බන්තොට කර්මාන්තකරණය ඇති කිරීමටත්, ඒ සඳහා චීන සහ අනෙකුත් රටවල ආයෝජකයන්ට අවස්ථාව ලබාදීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා.

එමෙන්ම වරාය නගර ව්‍යාපෘතිය මූල්‍ය නගරයක් බවට පත් කර කලාපීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම සඳහා ගත යුතු පියවරයන් ගැන අප සාකච්ඡා කළා. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර රටක් ලෙස ඉදිරියට යාම අපේ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා ඊළඟ වසර කිහිපයේ දී ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කරන බව චීන ජනපති සහ අගමැති ප්‍රකාශ කළා. එක් මාවතක් – එක් තීරයක් වැඩසටහන ඉතා සාර්ථක ව්‍යාපෘතියක් බව කිව යුතුයි.

පසුගිය මාස දෙක ඇතුළත ශ්‍රී ලංකාවට වැදගත් සුවිශේෂී සිදුවීම් රැසක් වූ බව කිව යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවට ගොස් ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිතුමා මුණ ගැසුණා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. ඊට පෙර මා ඉන්දියාවට ගොස් මෝදි අගමැතිතුමා හමු වුණා. එමෙන්ම අප්‍රේල් දෙවැනි සතියේ දී මා ජපානයට ගොස් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මුණගැසුණා. ඒ තුළින් විශාල ආර්ථික සහන රැසක් ශ්‍රී ලංකාවට හිමි වෙනවා.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබුණා. ඒ අනුව කෙටි කාලයක් තුළ බලවත් රාජ්‍ය හා සංවිධානවලින් අපට ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වුණා. අපේ මේ ව්‍යායාමය රට වෙනුවෙන් බව කිව යුතුයි. මීට පෙර කිසි දිනෙක මෙවන් යුගයක් තිබුණා දැයි මා ප්‍රශ්න කරනවා.”