FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගෙන් විශේෂ මැයි දින පණිවඩුයක්..

අදට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මැයි දින පණිවඩුය නිකුත් කර ඇත.

මැයි දින සුබ පැතුම් පණිවුඩය

සැබෑ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී නිදහස්, නිවහල් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා පෙළ ගැසී ජාති ආගම් භේදවලින් තොරව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අභිමානයෙන් සැමරීමට එක්වන ලෙස සකල ලක්වාසී ගොවි කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

අද රට අරක්ගෙන ඇති වෛරී දේශපාලනයෙන් ඉවත් වී මර්ධනකාරී ක්‍රියාවන් පිටුදකිමින් වැඩ කරන ජනතාවගේත්, සමස්ත රටවැසියන්ගේත් අයිතිවාසිකම් සුරකිමින් සමාජ හා ආර්ථික සාධාරණත්වය ඇති කරන ජාතික වැඩපිළිවෙළක් සඳහා පෙළ ගැසීමට කාලය එළැඹ තිබේ.

මෙරටේ සමන්ත කම්කරු ජනතාව එදා පටන් දිවි හිමියෙන් රැකගත්, ජාතික සම්පත්, ජාතික ව්‍යාපාර සුරැකිමේ ජාතික ප්‍රතිපත්තියක් සඳහා පෙළගැසෙන ලෙස මෙරටේ සමස්ත කම්කරු ජනතාවට ආරාධනා කරමි. ඊට හේතුව මේ වන විට මෙරටේ වටිනා ජාතික සම්පත් රටට අහිමිවන වාතාවරණයක් උදාවෙමින් පවතින අඳුරු යුගයක් අපගේ ඇස් පනාපිට දකින්නට තිබෙන නිසාය.

එබැවින් රටටත්, ජාතියටත් සුරක්‍ෂිත හෙට දිනක් උදා කිරීමේ අදිටනින් යුතුව මෙරටේ කම්කරු, අයිතීන් වෙනුවෙන් ඉතිහාසයේ පටන්ම ලේ කඳුළු දහදිය මෙන්ම ජීවිත ද කැප කළ සියලු ගොවි කම්කරු ජනතාවටත්, ලෝකවාසී කම්කරු ජනතාවටත් මගේ ගෞරව ප්‍ර‍ණාමය පළ කරමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති