FAST NEWS

24×7 Around the Globe

”මම විපක්ෂයේ මන්ත්‍රීවරයකු විදිහට අසුන් ගන්නවා.” – මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්!

ජනාධිපතිවරයා විසින් සිදු කරන බව පවසන  කැබිනට් සංශෝධනයේදී  මුදල් අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කළහොත් සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙක් ලෙස විපක්‍ෂයේ අසුන් ගන්නා බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් මෙම තීන්දුව දැනුම් දීමත් සමග, අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ජාවකින් පසු කැබිනට් සංශෝධනය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

කැබිනට් සංශෝධනයක් සිදු කිරීම ස්ථිර බව ජනාධිපතිවරයා ගිය වර්ෂය අග භාගයේදී ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් දන්වා සිටි බවද වාර්තා වූ අතර ඒ මත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ  මැති ඇමතිවරුන් ප‍්‍රසිද්ධ රැස්වීම්වල පවා වැරදි කරන ඇමතිවරුන් පන්නා දමන බව කල් තබා සඳහන් කරන ලදි.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත‍්‍රිවරුන් පවා මාධ්‍ය අමතමින් පවසා සිටින්නේ ජනාධිපතිවරයාට හිතුමතේ කැබිනට් සංශෝධන සිදු කළ නොහැකි බව සහ ඒ සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එකගතාවය ලැබිය යුතු බවයි.