මේ වන විට වෙනස්කම් රැසකට බඳුන්වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ පිත්ත හා පන්දුව අතර සංතුලිතතාවයක් තිබිය යුතු බව ‘බැංගලෝර් මිරර්’ පුවත් සේවය හා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පැවැසීය.
කාලයත් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දෑ වෙනස් වුවත් පන්දුව නොවෙනස්ව පවතින බවත්, එබැවින් ක්‍රිකට් පිත්තේ ප්‍රමාණයේ වෙනස්කම් සිදුවිය යුතු බවට යෝජනා කළ අයි.සී.සී. මණ්ඩලයේ තමා ද සිටි බවත් මහේල සඳහන් කලේය.
මෙම වෙනස්වීම් වල නිදසුන් ලෙස ක්‍රීඩාංගන වල හතරේ සීමාව ක්‍රමක්‍රමයෙන් කුඩා වීම, තණතීරු ක්‍රමක්‍රමයෙන් අජීවී (flat) වීම මෙන්ම පවර්ප්ලේ, නිපන්දු හා වයිඩ් පන්දු වලට අදාල නීතිරීති ඔහු හුවා දක්වා තිබේ.
මේ සම්බන්ධයෙන් තවදුරටත් මහේල අදහස් දක්වා තිබුණේ මේ අයුරිනි.
“මේ විදියට බැලුවොත්, වැඩිය ලොකු ක්‍රිකට් පිති තිබීම අසාධාරණයි. අනෙක් කාරණය තමයි අද කාලේ පිතිකරුවන් වඩාත් ශක්තිසම්පන්නයි. ශාරීරික යෝග්‍යතාවය අතිනුත් ඉහළයි. පිත්තයි පන්දුවයි අතර සංතුලිතතාවයක් තියෙන්න ඕන.”
එසේනම් ඔබගේ හදවත සැලෙන්නේ පන්දුයවන්නන් වෙනුවෙන්?
“වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුයවන්නන් සුවිශේෂයි. ඔවුන් ගේ දක්ෂතා, ක්‍රීඩා විලාශය මේ වන විට ඉතාමත් දියුණුයි. හොඳ තණතීරුවක් තිබුණහොත් වැඩි වාසිය පන්දුයවන්නන් හට කියලා මට තවමත් හැඟෙනවා. පන්දුයවන්නෙකුට අවස්ථා රැසක් තිබුණත් පිතිකරුවෙකුට ඇත්තේ එක් අවස්ථාවක් පමණයි. මේ තත්ත්වයත් එක්ක බැලුවාම සමතුලිතබව තරමක් දුරට ඇතිවෙනවා. ඒ වුණත්, පන්දුයැවීම කියන්නේ අමාරු කාර්යයක්.”