FAST NEWS

24×7 Around the Globe

හොරා කෑ මුදල් සේප්පු හම්බන්තොට ළිං පතුල් වලින් මතු වේ.

 

කාලයක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි වෙළඳසැල් හා ඉන්ධන පිරවුම්හල් රාත්‍රී කාලයේදී කොල්ල කා එහි තිබූ මුදල් සේප්පු රැගෙන විත් මුදල් රැගෙන සේප්පු ලිං පතුල් වල හා වැව් ඇළ දොළ වල සඟවා තිබියදී තංගල්ල කොට්ඨාශ දූෂණ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන නැවත ඒවා ගොඩගැනීම සිදුකෙරිණි.

තංගල්ල කොට්ඨාශ දූෂණ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත සැකකරුවන් 2ක් හා සඟවා තිබූ සේප්පු මෙලෙස ගොඩ ගැනිණි. සැකකරුවන් අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි.

පසුගිය 07 දින තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතා වෙත ලද තොරතුරකට අනුව නිලධාරීන් අඟුනුකොලපැලැස්ස ප්‍රදේශයේදී ගංජා ජාවාරමේ නියැලුණු සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් සතුව තිබී ගංජා කිලෝ 5ක් ,ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව ඇත බෝම්බයක් නිලධාරීන් සොයාගෙන ඇත. පසුව නිලධාරීන් එම සැකකරුවන් ඉකුත් 09 දින අඟුනුකොලපලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා දින 07ක රැඳවුම් නියෝගයක් ලබාගෙන ඇත.

ඒ අනුව සැකකරුවන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසුව නිලධාරීන් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත. මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි වෙළඳසැල් හා ඉන්ධන පිරවුම්හල් හා ටයර් අලෙවිසැල් රාත්‍රී කාලයේදී කොල්ලකා ඉන් සොරාගන්න ලද මුදල් සේප්පු රැගෙන විත් මුදල් රැගෙන හිස් සේප්පු විවිධ ප්‍රදේශවල ලිං පතුල් වල හා වැව් ඇළ දොළ වල සඟවා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

ඒ අනුව සැකකරුවන්ගේ ප්‍රකාශ මත ගොස් නිලධාරීන් අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ ලිං දෙකක් පරීක්ෂාවට ලක් කල අතර එහි සඟවා තිබූ හිස් මුදල් සේප්පු 03ක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගොඩට ගැනිණි. පසුව නිලධාරීන් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ප්‍රදේශයද සෝදිසි කර එහි සඟවා තිබූ සේප්පු 03ක්ද ගොඩට ගැනිණි.

කොල්ලකරුවන් විසින් කොල්ලකන ලද මුළු දේපලවල වටිනාකම කෝටි 05 කට වැඩි බව නිලධාරීහු පවසති. තවද අඟුනුකොලපලැස්ස, අම්බලන්තොට, හුංගම, වීරවිල යන පොලිස් බල ප්‍රදේශයන්හි සිදු වූ සොරකම් කිහිපයක් සම්බන්ධවද තංගල්ල කොට්ඨාශ දූෂණ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති අතර ඒ සඳහාද නිලධාරීන් මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භකර ඇත.