රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ඊයේ(24) පස්වරුවේ ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා තිබේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර තිබේ.
අනතුරින් සිව් දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා තිබෙන බවත්, ඒ අතර සිව් මස් ගැබිනියකද සිටින බවත් වාර්තා වෙයි.
ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝමිටරයකට ආසන්න දුරකින් වූ ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් එකම පවුලේ මව ඩබ්ලියු .එම් . නන්දා මාලනි, පියා වන එච් .එම් .අනුර සෙනරත් සහ හත් හැවිරිදි දියණිය වන හිරුණී සත්සරණිකා , සහ සිව් හැවිරිදි ගයන්ත ඉදුනිල් , යන අය බරපතල ලෙස තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ බව ආණමඩුව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබදව අදහස් දැක්වු අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ඇති පුද්ගලයෙකුගේ සොහොයුරෙක් මෙසේ පැවසීය.
”අනතුර එක්කම මම එතැන්ට ආවා එතකොට රංගේ බංඩාර මහත්තයගේ පුතා ( යසෝධ රංගේ බංඩාර) ලගට ගිහින් මම ඇහුවා ඔයා කවුද මහත්තයා.. ඇයි මේ විදිහට අනතුරක් කලේ කියලා. එතකොට එයා හොදටම බිලා හිටියේ වාහනේ හිටිය අනිත් අයත් හොදටම බිලා තව අරක්කු බෝතල් වගයක් ප්ලාස්ටික් කප් තිබුනා.
රංගේ බංඩාර මහත්තයාගේ පුතා මගේ ඇගට කඩා පැනලා කියුවා ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ පුලුවන් දෙයක් කරන්න කියලා. මම කිවුවා මහත්තයා කථා කරන්න ඉගෙන ගන්න කියලා එවිට ආයේ කියුවා පුලුවන් දෙයක් කරලා පෙන්වනවා ආණමඩුවට එනවාකෝ බලා ගමු කියලත් කියුවා. මම කියුවා මහත්තයා මට කොහෙත් එකයි කියලා.. මේ මිනිස්සු අනතුරත් කරලා අර අහිංසකයින්ව යටකරලත් අපිට ගනන් පාට් දාන්න එනවා..” යැයි ඔහු පැවැසිය.
අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නැමති අයෙකු පොලිසියට භාරවී තිබුනි.
එසේම අනතුරට සම්බන්ධ කැබ් රථය රාජ්‍ය ඇමති රංගේ බංඩාර මහතාගේ අමාත්‍යංශකට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසන ලදි.