FAST NEWS

24×7 Around the Globe

හිතෙන් CHAT කරන්න කැමතිද.. මෙන්න තවත් fb වැඩක්!

මිනිස් මොළය සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් පරිගණකය ක්‍රියා කරවීමට හැකි නව තාක්ෂණික ක්‍රමයක් (Brain-computer interface) පිළිබඳ තාක්ෂණික කටයුතු සිදු කරමින් සිටින බව ෆේස්බුක් ආයතනය නිවේදනය කර තිබේ.

පරිගණක ඉංජිනේරුවන් හැට දෙනකුගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන මෙම නව තාක්ෂණික සොයා ගැනීම හරහා මොළයට කිසිදු උපකරණයක් සවි කිරීමකින් තොරව පරිගණක තිරය මත තමන්ට අවශ්‍ය දෙය යතුරුලියනය වීමට සැලැස්වීමට හැකියාව ලැබේ.

මෙම මෘදුකාංගය මඟින් පුද්ගලයකුගේ මොළය මිනිත්තුවකට සිය ගුණයක වේගයෙන් ස්කෑන් කර මිනිසකුගේ සිතුවිලි අකුරු බවට පරිවර්තනය කිරීමේ ක්‍රමයක් දක්වා වැඩි දියුණු කිරීමට නියමිත බව පැවසේ.

ෆේස්බුක් ආයතනයේ ප්‍රධානියකු වන රෙජීනා ඩූගන් පවසන්නේ මිනිසෙකුට මිනිත්තුවක දී වචන 100ක් යතුරුලියනය කිරීමේ අවස්ථාව එනම් ජංගම දුරකථනයකින් යතුරුලියනය කරනවාට වඩා පස් ගුණයක වේගයෙන් යතුරුලියනය කිරීමේ අවස්ථාව ලබා දීම තමන්ගේ ඉලක්කය බවයි.

තවමත් මුල් අවධියේ පසුවන මෙම ව්‍යාපෘතිය මඟින් සැත්කමකින් තොරවම මොළය සමඟ ගනුදෙනු කිරීමට හැකි වීම විශේෂත්වයක් වනවා සේම මේ නව තාක්ෂණය හරහා ආබාධිත, අංශභාගය වැලඳුණු පුද්ගලයන් හට විශාල ප්‍රතිලාභයක් අත්වන බව ෆේස්බුක් ආයතනය පෙන්වා දෙයි.

මේ  උදෙසා දෘඪාංග සහ මෘදුකාංග යන දෙකම නිපදවන බවත් පැවසේ.

එසේම මෙහි දී ඔබගේ සියලුම සිතුවිලි අකුරු බවට පරිවර්තනය වීමක් සිදු නොවන අතර අකුරු බවට යතුරුලියනය වන්නේ ඔබ වෙනත් කෙනෙකු සමඟ බෙදා ගැනීමට සූදානම්ව මොළයේ කථනය පාලනය කරන ස්ථානය වෙත යොමු වී ඇති සිතුවිලි පමණකි.

“මෙතැන දී ඔබට හිතන්න බාධාවක් නැහැ. නිදහසේ හිතන්න පුළුවන්. සමහරක් සිතුවිලි පමණයි පරිවර්තනය වෙන්නෙ. උදාහරණයකට ඔබ ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ගත්තත් ඔබ පළ කරන්නේ කිහිපයක් වගෙයි.”රෙජීනා ඩූගන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.