FAST NEWS

24×7 Around the Globe

කොළඹ කුණු දැන් ගෙනියන තැන අභිරහසක්..!

මීතොටමුල්ල කුණු කන්දට කුණු රැගෙන යාම නවතා දැමීමත් සමඟ කොළඹ නගරයේ එක්රැස්වන කුණු කසල රැගෙන යන ස්ථාන පිළිබඳව තොරතුරු පිටතට ලබා නොදෙන ලෙස කොළඹ මහනගර සභාවට බලපෑම් එල්ලවී ඇති බව නිල නොවන වාර්තා අනාවරණය කරයි.

නගර සභාවේ කසළ කළමනාකරණ අංශයේ නිලධාරීන්ට මේ පිළිබඳ දැඩිව අවවාද කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කොළඹ නගරයේ පමණක් දිනකට කසල මෙට්‍රික් ටොන් 700ක් පමණ එක්රැස් වන අතර ඉන් මෙට්‍රික් ටොන් 350 ක් පමණක් කරදියාන කසළ අංගණයට ගෙනයෑමට අධිකරණ තීන්දුවක් ලබා දී තිබුණද, එය තාවකාලික තීන්දුවක් වන අතර, ඉතිරි කසළවලට කුමක් කරන්නේදැයි නගර සභාව පැහැදිලි පිළිතුරක් ලබා නොදෙයි.

මේ දිනවල  කොළඹ නගරයේ එක්රැස් වන කසළවලින් කොටසක්  ජාඇල ප්‍රදේශයට ගෙන බවටත්, තවත් කසළ කොටසක් නගර සභාවේ ඩිපෝවල රඳවා තිබෙන බවටත් ආරංචි පැතිර යමින් තිබේ.

මේ අතර කොළඹ නගරයේ කුණු කොටිකාවත්ත ප්‍රදේශයට ගෙනත් දමන බවට පවසමින් එම ප්‍රදේශවාසීන් ඊයේ (18) අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයකද නිරත විය.