FAST NEWS

24×7 Around the Globe

‘තමන්ට හරි හෝ වැරදි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි..’

රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍ය නිලධාරී සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය මහින්ද ලියනගේ මහතා විශ්‍රාම යාමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඔක්රේ රිජන්සි හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පහත පරිදි අදහස් දක්වනු ලැබීය.

“රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිතියක්. සෑම වසරකම නිලවරණය පවත්වනවා. ඇතැම් වෘත්තීය සමිති දේශපාලන පක්ෂ වලට සම්බන්ධයි. වෘත්තීය සමිති නිලවරණයක දී නිලතල ලැබෙන්නේ සාර්ථකත්වය මතයි. ලැබෙන නිලතලය රැකගැනීම තමයි අමාරු. පැරණි ක්‍රමවේද වල එළඹගෙන වෘත්තීය සමිති ව්‍යාපාර දියත් කරන්න බැහැ. සාමාජිකයින්ගේ ඉල්ලීම් දිනාගන්නත් වෙනවා.

මෙම වෘත්තීය සමිතියත් ජනවාරි 08 විප්ලවයට දායකත්වය දැක්වූවා. ස්වාධීන වෘත්තීය සමිතිවල විවිධ මත තිබෙන පුද්ගලයින් සිටින්න පුළුවන්. හැබැයි තමන්ට හරි හෝ වැරදි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. සිවුපාවුන්ගෙන් මිනිසා වෙනස් වෙන්නේ එවිටයි. වෘත්තීය සමිති සාකච්ඡා මාර්ගයෙන් ඉල්ලීම දිනා ගැනීමට කැපවිය යුතුයි. වෛද්‍ය මහින්ද ලියනගේ වැනි වෘත්තීය සමිති නායකයින් රටට අවශ්‍යයි. එතුමා අවබෝධයක් ඇති ඉළක්කගත පුද්ගලයෙක්. එවැනි වෘත්තීය සමිති නායකයින් අඩුයි. රට ගොඩනැගීමට එවැනි ඉළක්ක ගත පුද්ගලයින් අවශ්‍යයි.”