අයි.පී.එල්. තරගාවලියේ සිදුවූ බව කියන තරඟ පාවාදීම් ඇතුළු දූෂණ සම්බන්ධයෙන් සෙවීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පත් කළ ලෝධා කමිටු වාර්තාව අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 2013 වසරේ අයි.පී.එල්. තරගාවලියට අදාළව පරීක්ෂණ පැවැත්වීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජනවාරි 22 වන දා මෙම කමිටුව පත් කරනු ලැබුවා.
ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයෙකු වූ ආර්.එම්. ලෝධා සහ තවත් විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි. විශේෂයෙන් චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම්වලට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් එමගින් විමර්ශනය කළා.
ඒ අනුව චෙන්නායි කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙකු වූ ගුරුනාත් මෙයියප්පන් සහ රාජස්ථාන් පිළේ රාජ් කුන්ද්රාට මෙම කමිටුව මගින් දඩුවම් නිර්දේශ කරනු ඇතැයි අපේක්ෂිතයි. ගුරුනාත් මෙයියප්පන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ වත්මන් සභාපති එන්. සිරිනිවාසන්ගේ බෑණායි.






