FAST NEWS

24×7 Around the Globe

ඩිල්රුවන් ගෙන එම සහ පළමු 15 ගැන තරංගගෙන් විශේෂ ප්‍රකාශයක්..

පළමු 15 දෙනාගේ සංචිතය කුමක්‌ද යන්න තමා නොදැන සිටි බවත් බංගලාදේශයට එරෙහිව පළමු එක්‌දින තරගයෙන් පසුව තමාට පිට දඟ පන්දු යවන්නෙක්‌ අවශ්‍ය බව තේරීම් කමිටුවෙන් කළ ඉල්ලීමට අනුව ඩිල්රුවන් පෙරේරාව කණ්‌ඩායමට ගෙනා බව ශ්‍රී ලංකා නායක උපුල් තරංග  මාධ්‍ය වෙත පැවසීය.

”ඇත්තටම මේ තරගාවලියේදී නම් කළ පළමු පහළොස්‌ දෙනා කවුද කියල මම මුලින්ම දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්‌සෙ පළමු තරගය ක්‍රීඩා කරාට පස්‌සෙ මම දැන ගත්ත පිට දඟ පන්දු යවන්නෙක්‌ ඕන කියලා. මොකද ටෙස්‌ට්‌ තරගාවලියේ ඉඳල බංග්ලාදේශයේ ලකුණු අතර හිටියේ වමත් පිතිකරුවන්. ඒ එක්‌කම දික්‌වැල්ලත් ආබාධයට ලක්‌ වුණ නිසා ඩිල්රුවන් පෙරේරාව කණ්‌ඩායමට ගෙනාවා. මුලින්ම මගෙන් ඇහුව්ව නම් මම පිට දඟ පන්දු යවන්නෙක්‌ ඕන කියල ඉල්ලනවා” යෑයි තරංග පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලකුණු තුන්සියයයේ සීමාවට යැමට අවස්‌ථාව තිබූ බවත් පන්දු ඕවර තිහෙන් පසුව ලකුණු ලබා ගැනීම අඩාල වූ බවත් තරංග පවසයි.

”ඇත්තටම ලකුණු 280 ක්‌ කියන්නෙ හොඳ ගාණක්‌. නමුත් මම හිතන්නෙ අපිට තව විස්‌සක්‌ විතර ගන්න තිබ්බා. පන්දුවාර තිහෙන් පස්‌සෙ අපේ දුවද්දී දැවී යාම් දෙකක්‌ සිදු වුණා. ඒ නිසා අපිට ලකුණු 280 ත් අමාරු වුණා. කොහොම වුණත් එක්‌දින තරගයකදී දුවද්දී දැවී යාමකට සමාව දෙන්න පුළුවන් අන්තිම ඕවර දෙකේදී විතරයි. දෙවැනි තරගයේදී මගේ දුවද්දී දැවී යාමත් තුන්වැනි තරගයේදී චන්දිමාල්ගේ දුවද්දී දැවීයාමත් නිදහස කරුණු වැඩක්‌ නැහැ.”

තිසර පෙරේරා කණ්‌ඩායමෙන් එළියට ගොස්‌ නැවත එන විට ඔහුගේ වගකීම දැනගෙන ක්‍රීඩා කරන බවද තරංග පවසයි.

”ඇත්තටම තිසර පෙරේරා ක්‍රීඩා කළ විලාශයෙන් පෙනෙනවා ඔහුගේ වගකීම තේරුම් අරගෙන ක්‍රීඩා කරන බව. අනෙක්‌ අන්තයේ කඩුලු නොතිබුණත් ඔහු ඔහුගේ වගකීම හොඳ හැටි ඉටු කළා. ඒ එක්‌කම අපේ පන්දු රැකීම මේ තරගයේදී හොඳ තැනක තිබ්බා. පසුගිය කාලයේ අපේ පන්දු රැකීම හොඳ නැහැ කියල හැමෝම කියපු නිසා කට්‌ටියට ඕන වුණා හොඳයි කියල පෙන්වන්න. ඒ නිසා පුහුණුවීම්වලදී හොඳින් ඒ ගැන අවධානය යොමු කරල පුහුණු කළා” යෑයි තරංග වැඩිදුරටත් පැවසීය.

(ADS)