FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ඇඟිලි ගැසීම් ගැන අර්ජුනගෙන් ගුරුසිංහට පිළිතුරු..

වත්මන් ක්‍රිකට් පරිපාලනය සමඟ එක් වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අර්ජුන රණතුංග මහතාද ක්‍රිකට් පරිපාලනය සමඟ සම්බන්ධ විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා කළ අදහසට පළමු වරට පිළිතුරු සපයමින් අර්ජුන රණතුංග මහතා ඒ බව කියා සිටියේ ඊයේ (12) උඩුගම්පළ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවැසුවේ ක්‍රිකට් පරිපාලනයේ ඇඟිලි ගැසීම් නිසා අසංක ගුරුසිංහ මහතාට ද තම රාජකාරිය නිසි පරිදි සිදු කිරීමේ හැකියාවක් නොලැබෙන බවයි.

“අවුරුදු 20ක් මේ රටේ ක්‍රීඩාවට මොකද වුණේ කියල අසංක ගුරුසිංහ මහත්තයා දන්නේ නැහැ. මොන වගේ දේශපාලන මැදිහත් වීම් සිදුවුණාද? මොන වගේ හොරකම් කළාද? මොන වගේ වැරැදි පුද්ගලයෝ ක්‍රීඩාවට ආවාද? යන්න අසංක ගුරුසිංහ මහතා දන්නේ නැහැ.

ඒ වගේම මම පැහැදිලිව කියනවා අසංක ගුරුසිංහ මගේ සහෝදර ක්‍රීඩකයාට ඔය වැඩේ හරියට කරන්න අද ඉන්න පරිපාලනය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ.  පරිපාලනයේ ඉන්න අය දේශපාලන අත ගැසීම් කරනවා. ඔවුන්ගේ මිත්‍රයන්ගේ දරුවන් සෙල්ලම් කරන්න දානවා. ඊයේ පෙරේදාත් වුණා. එයින් ක්‍රිකට් පාලක මණ්ඩලයම අපකීර්තියට පත් වෙලා තියෙනවා.

මෙතැන සිදු වෙන්නේ මේ පැරැණි ක්‍රීඩකයන් පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ එවැනි මඩ සෝදා ගැනීමේ ක්‍රියාදාමයක්. මේ නිසා මම වගකීමකින් කියනවා මේ සියලුම ක්‍රීඩකයන් අරවින්ද, අසංක, සනත් ඇතුළු සියලුම දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වරදක් වෙනවා නම් ඒ වරද එක්කෝ හදන්න ඕන. එසේ නැත්නම් එතැනින් ඉවත් වෙන්න ඕන. මම ක්‍රිකට් පරිපාලනයට එන්නේ නැහැ.

විශේෂයෙන්ම පසුගිය ක්‍රිකට් නිලවරණයේදී මම උප සභාපතිවරයෙක් හැටියට සුදුසු නැහැ කියලා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දේ දෙන අය තීරණය කළා. දැනට ක්‍රිකට්වලට එන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ මම තීරණයක් ගත්තා.

නමුත් අද වනවිට ලෝක කුසලානය ජයග්‍රහණය කළ විශාල ප්‍රමාණයක් ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස ඉන්නවා. ඉතින් අපිට ඉදිරියේදී ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන්. ඒක නිසානේ මේ ක්‍රීඩකයන්ව ගේන්නේ. මොවුන්ට ඒ අවස්ථාව දීලා අපි සුබ පතන්න ඕන ජයග්‍රහණය ලැබෙන්න කියලා…” යනුවෙන්ද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පැවැසීය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට වඩා වරාය ගැන තමන්ට විශාල වගකීමක් පැවැරී ඇති බවත් ඒ නිසා ක්‍රිකට් පරිපාලනය සඳහා තමන්ට වේලාවක් නැති බවත්ය.