FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ නිවස බිඳපු සොරුන් කොටු කරගත් හැටි මෙන්න…

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතාගේ නිවෙස ඇතුළු නිවාස 17ක් බිඳ රුපියල් ලක්ෂ විස්සකට අධික දේපළ සොරාගත් “අඟුරුවාතොට පිනුමා” ඇතුළු පුද්ගලයන් තිදෙනකු එම දේපළ සමඟ අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පැවැසීය.

සැකකරුවන් එලෙස සොරාගත් රන් භාණ්ඩ වාද්දුව, කොළඹ, පානදුර හා ගල්කිස්ස ප්‍රදේශවලට විකුණා තිබියදී පොලිසිය සොයා ගෙන තිබේ.

වාද්දුව පොලිසිය ලද තොරතුරක් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පානදුර උතුර පොලිස් වසමේ කුසල් මෙන්ඩිස් මහතාගේ නිවෙස ඇතුළු නිවාස තුනක්, පානදුර දකුණ එක් නිවෙසක්, වාද්දුව නිවාස හතක්, කළුතර උතුර නිවාස තුනක් හා බේරුවල නිවාස තුනක් ඇතුළු නිවාස 17ක දේපළ සොරා ගත් බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.

එම සැකකරුගෙන් හෙළි වූ තොරතුරු අනුව අඟුරුවාතොට පිනුමා නමැති පුද්ගලයා හා අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් සොරාගත් දේපළ වාද්දුව, පානදුර, ගල්කිස්ස හා කොළඹ ආදී ප්‍රදේශවලට උකස් තබා හා විකුණා තිබියදී සොයාගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් අඟුරුවාතොට පිනුමා නැමැත්තා රන් මාල හතක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියදී නිවෙස් බිඳීම් සම්බන්ධව බන්ධනාගාර ගතව සිටි සැකකරු දැන හඳුනාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මීට මාස හයකට පමණ පෙර ඉහතදී හිරෙන් නිදහස්ව පැමිණ ඇති මෙම සැකකරුවන් දෙදෙනා අනෙක් පුද්ගලයා සහභාගි කරගෙන මෙම නිවෙස් බිඳ ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් එම නිවාසවලින් සොරාගත් දේපළ ඉතාමත් අඩු මුදලට උකස් කර හෙරොයින් මත්කුඩු පානය සඳහා වැය කර ඇති බවට හෙළි විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.