FAST NEWS

24×7 Around the Globe

ඇසුරුම් වෙනස් කර විකිණීමට ගිය සහල් 24,950 kg අල්ලයි

ඇසුරුම් වෙනස් කර විකිණීමට සූදානම් කළ සහල් කිලෝ 24,950ක් හා විකිණීමට ප්‍රතික්ෂේප කරමින් තබාගෙන සිටි සහල් කිලෝ 17,150ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබිය දී වැඩි මිලට සහල් විකුණන හා සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන සොයා කරන ලද වැටලීමක දී පිටකොටුවේ වෙළෙඳ සැල් තුනක තිබී මෙම සහල් තොග අත්අඩංගුවට ගෙන තිබේ.

එක් ව්‍යාපාරික ස්ථානයක කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ සහල් මළු 686ක් විකිණීමට ප්‍රතික්ෂේප කර තිබී ඇත. තවත් වෙළෙඳ ස්ථාන දෙකක කිලෝ ග්‍රෑම් 25 මළු 922ක් හා 76ක් බැගින් ඇසුරුම් ගලවා සහල් සඳහා ප්‍රසිද්ධ නාමයන් සහිත මළුවලට බහාලමින් තිබිය දී අත්අඩංගුවට ගෙන ඇත.

එම සහල් තොග මුද්‍රා තබා අවශ්‍ය නීතිමය පියවර ගන්නාලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දුන් බව ද බදුයිදීන් ඇමතිවරයා කීවේය.

සහල් පාලන මිල නියම කරතිබිය දී වැඩි මිලට සහල් විකුණන ස්ථාන සොයා මේ වන විට වැටලීම් සිදු කරයි.