වසර 7 ක නිහැඬියාවකින් පසුව ජනප්රිය ගායිකා ජෙනට් ජැක්සන් නැවතත් ගීත ලෝකයට එක්වී සිටිනවා. අලුත්ම ගීතයක් නිර්මාණය කරමින් තමයි ඇය රසික පිරිස අතරට පැමිණ සිටින්නේ. මේ ගීතය නම් කර ඇත්තේ ‘නෝ ස්ලීප්’ යනුවෙන්.
මේ ගීතයත් සමඟ ලොව වටා සංගීත ප්රසංග චාරිකාවක යෙදෙන්නත් ඇය බලාපොරොත්තු වෙනවා. ලබන අගෝස්තු 31 දා වැන්කුවර් නගරයෙන් ඇරැඹෙන මේ ප්රසංග මාලාවේ අවසාන ප්රසංගය පැවැත්වෙන්නේ නොවැම්බර් 12 දා හවායි දූපත් වලදීයි. මේ ප්රසංග මාලාව රටවල් රැසක ස්ථාන 36 ක පැවැත්වීමට නියමිතයි. මෙය ඇගේ ගායන ජීවිතයේ 7 වැනි සංචාරයයි.
බටහිර සංගීත ලොව කීර්තියට පත්වූ BET (Black Entertainment Television Awards) සම්මාන රාත්රියේදී ජෙනට් ජැක්සන්ට හොඳම ගායිකාවට හිමිවන සම්මානය පසුගියදා පිරිනැමුණා. සම්මානය දෝතට ගත් ඇය තමන්ගේ ගීත චාරිකාව දීර්ඝ කාලයක් තිස්සේ ජයග්රාහීව ඉදිරියට ගෙනයන්නට අතහිත දුන් පවුලේ සියල්ලන්ටත් මිතුරු මිතුරියන්ටත් රසික පිරිසටත් තුති පිදුවා.
ජෙනට් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ නැගණියයි.











