ශ්‍රී ලංකා ක්‍රිකට් යනු කිසිවෙකුගේ බූදලයක් නොවන බවත් එය රැක ගැනීම වෙනුවෙන් උදව් කිරීමට ඕනෑම කෙනෙක්‌ට හැකියාවක් ඇතිනම් ඉදිරිපත් විය හැකි බවත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ලෙස පත්වු අසංක ගුරුසිංහ ඊයේ (05 දා) ජායික් හිල්ටන් හිදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී අදහස් දැක්‌වූ ගුරුසිංහ, ”ඇත්තටම කාලෙකට පස්‌සෙ මට හොඳ කණ්‌ඩායමක් සමග වැඩ කරන්න අවස්‌ථාව ලැබුණා. සනත් ජයසූරිය, අරවින්ද ද සිල්වා වගේ අය මෙන්ම අනෙක් අයත් මම ගොඩක් දන්න කියන අය. ඇත්තටම මම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ණය ගැතියි. 1984 ඉඳල මම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආපු දවසෙ ඉඳල තමයි මගේ මේ දියුණුව සහ අද ඉන්න තත්ත්වයට ඇවිල්ල තියෙන්නෙ. ඒ නිසා අවුරුදු 20 කට පස්‌සෙ හරි මට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට උදව්වක් කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මීට අවුරුදු 15 කට ඉස්‌සෙල්ලත් මට ආරාධනාවක් ආවා. ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සේවය කරන්න මේක තමයි හොඳම කාලය.” යෑයි ගුරුසිංහ පැවසීය.
1996 ලෝක කුසලානය දිනූ කණ්‌ඩායමේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කටයුතු කරන මොහොතක එම කණ්‌ඩායමේ නායක අර්ජුන රණතුංග මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව මෙහිදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකටද හෙතෙහ පිළිතුරු ලබා දුන්නේය.
”දැන් අර්ජුන අයිය වරාය ඇමැතිවරයා. ඒක අහන්න ඕන එයාගෙන්මයි. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ එක්‌කෙනකුගෙ බූදලයක් නෙමෙයි. මේක සභාපති තිලංගගෙවත්, නායක ඇන්ජලෝගෙවත් එහෙමත් නැතිනම් තව කාගෙවත් පෞද්ගලික දෙයක් නෙමෙයි. ඒ නිසා අර්ජුනගෙ තියෙන දැනුම සහ උපදෙස් ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට වටිනවා. ඒක එයා හිතල කරන්න ඕන දෙයක්” යෑයි ගුරුසිංහ තවදුරටත් පැවසීය.
වසර තුනකට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ලෙස සේවය කිරීමට අසංක ගුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇති අතර එහිදී ඔහුගේ සේවය වන්නේ ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සමග වැඩ කිරීම, තාක්‍ෂණය, දක්‍ෂතා ඉහළ නැංවීමේ කළමනාකරු සමග වැඩ කිරීම, ක්‍රිකට් කමිටු සමග වැඩ කිරීම ආදී කරුණු වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ ක්‍රීඩා විලාශය තමා අධ්‍යයනය කළ බවත් කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවල අඩුවක් නැති බවත් පවසන අසංක ගුරුසිංහ, අරවින්ද සහ සනත් සමග වැඩ කිරීමට ලැබීමත් ලොකු වාසියක් බව හෙතෙම මෙහිදි වැඩි දුරටත් පැවසීය.