රටක් සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාම යම් සේ වැදගත් වන්නේ ද අපනයන කරන නිෂ්පාදනයන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම ද එලෙසම වැදගත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා අන්තර්ජාතික වෙළෙඳාමේ දී ඇතිවන තාක්ෂණික බාධක ඉවත්කිරීම පිළිබඳ අපනයන කරුවන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී සංවිධානය කර තිබූ වැඩමුළුවක අදහස් දක්වමින්ය.
එහිදී අමාත්‍ය බදුයිදීන් මහතා මෙසේ ද කියා සිටියේය,
කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් හා අපනයනකරුවන් දිරිමත් කරන්න අපි රජයක් ලෙස විවිධ අවස්ථාවල දී බදු සහන ලබා දෙනවා. නමුත් මේ සියල්ලට ම වඩා වැදගත් වනවා අපනයනය කරන භාණ්ඩයේ නැත්නම් නිෂ්පාදනයේ ප්‍රමිතිය, ගුණාත්මක බව ආරක්ෂා කිරීම.එම තත්ත්වයන් ආරක්ෂා කරගත්තොත් විතරයි දිගටම අපිට වෙළෙඳපොළක් පවත්වාගෙන යා හැකි වන්නේ. අපේ භාණ්ඩවලට ජාත්‍යන්තරයේ ඉල්ලුමක් ලැබෙන්නේ. අපිට අනෙක් රටවල නිෂ්පාදන සමඟ තරඟ කිරීමට මේ ගුණාත්මක බව හොඳ ප්‍රමිතිය නිරායාසයෙන් ම ආරක්ෂාකරගත යුතු වෙනවා. විශේෂයෙන් ම කෘෂි නිෂ්පාදන හා ආහාර නිෂ්පාදනවල දී මෙය ඉතාමත් ම වැදගත්. එහි දී අපි සියුම්ව සැලකිලිමත් වෙමින් ප්‍රමිතිය ආරක්ෂාකර ගත යුතුයි. මෙවැනි වැඩමුළු සංවිධානය කරන්නේත් ඒ සඳහා අපේ නිෂ්පාදකයන් සහ අපනයන කරුවන් උනන්දු කිරීමේ පරමාර්ථයෙන්.
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 23ක ප්‍රමාණයක් කෘෂිකාර්මික අංශයට හිමිවන අතර එහි වටිනාකම වාර්ෂිකව ඩොලර් බිලියන 2.5කි. අමාත්‍යවරයා කියා සිටියේ නිසි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අපනයනය කිරීමෙන් විශාල වශයෙන් අවාසි සිදුවන බවයි. මෙහි දී එළවළු, පලතුරු, මස් මාංශ හා වෙන් ආහාරමය නිෂ්පාදන සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්රමිතීන් තියෙනවා. මේ ගැන සැළකිලිමත් නොවී ඒ ප්රමිතීන් ආරක්ෂා නොකර අපිට ජාත්‍යන්තර වෙළදපොළ ජයගත නොහැකියි. ඒ නිසා නිතරම අපි අපේ නිෂ්පාදකයන් හා අපනයනකරුවන් ඒ පිළිබඳ දැනුම්වත් කරන්න. නිසි පුහුණුවක් සහ අවබෝධයක් ලබා දෙන්න මෙවැනි පුහුණු වැඩසටහන් පවත්වනවා. මේ වගේ වැඩසටහන් වලට විදෙස් විද්වතුන් ද සහභාගීවීම නිසා අපිට නවීන තාක්ෂණික ක්රමෝපායන්හි හි අත්දැකීම් ද ලබා ගත හැකියි. ඒ අනුව නව වෙළෙඳ පොළ අවශ්‍යතා ජය ගන්න අපේ අපනයනකරුවන්ට අවස්ථාව ලබාදීමට හැකියාව ලැබෙනවා. මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපේ රටේ ආර්ථිකය නගා සිටුවන්න දායක වන්න කියා මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.