FAST NEWS

24×7 Around the Globe

වසර 29කට පසු විජය ගැන සනත් කියූ හැටී…

 

අසහාය රංගන ශිල්පී විජය කුමාරණතුංගයන්ගේ අභාවය සිදුවී අද(16) දිනට වසර 29ක් පිරීම නිමිත්තෙන් දිවයින පුරා බොහෝ සැමරුම් රාශියක් දක්නට ලැබේ.

ඒ පිළිබඳ මතකය දිගහැරීමට ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකයන් අප සාකච්ඡාවකට කැඳවා ගතිමු.

”අද පෙබරවාරි 16 වැනිදා විජය කුමාරණතුංගයන් ඝාතනය වෙලා අවුරුදු 29 ක් පිරෙනවා. අපට ඔහු නළු වෘත්තියටත්, දේශපාලන වෘත්තියටත් වඩා වටින්නේ ඔහුගේ තියෙන මනුස්සකම නිසයි කියලයි මම හිතන්නෙ. මම විශ්වාස කරනවා විජය කුමාරණතුංග කියන්නෙ ඉතාම ප්‍රවීණතම සහ දක්ෂතම රංගන ශිල්පියෙක්. ඒ වගේම ලංකාවේ දේශපාලන අර්බුද පිළිබඳ යම් ආකාරයක මුහුකුරා ගිය දැනුමක් ලබාගත් දේශපාලනඥයෙක්. සමහර වෙලාවට විජය කුමාරණතුංග ලබාගත් ජනප්‍රියතාව වෙන කිසිදු නළුවෙක් ලබාගත්තෙ නෑ. ලබාගන්නෙත් නැතිවේවි.

විජය කුමාරණතුංග තරම් මනුස්සකම තියෙන රංගන ශිල්පියෙක් හා දේශපාලනඥයෙක් මතුවටත් බිහිනොවේවි. ඒ මනුස්සකම නැතිවුණු නිසා තමයි අදටත් සිනමාව තුළ තිබෙන්නාවූ අර්බුදවල තවත් එක අර්බුදයක් ලෙස එය දකින්නෙ.

ඔහුට  වඩා දක්ෂ නළුවන්, පරිණත නළුවන් සහ ප්‍රතාපවත් නළුවන් හිටියට ඔහු තුළ තිබුණු මනුස්සකම තුළින් වහනය වුණු ගුණ සුවඳ නිසා බොහෝ විරසකයන් නැවත වතාවක් එකතු කරන්න පුළුවන් වුණා. මට හැම අවුරුද්දෙම පෙබරවාරි 16 එතුමාගේ වියෝව මතක් වෙනවා.

අවසාන වතාවට එතුමා වැඩකරපු චිත්‍රපටයේ මමත් හිටියා. මට වඩා එතුමාට කිට්ටු අය බොහොමයක් ඇති. සමීපතම හිතවතුන් රාශියක් ඇති. උදාහරණයකට කියනවා නම් එතුමා වෙනුවෙන් ඉතාම ජීවිත පරිත්‍යාගයෙන් පවා ඕනෑම දෙයක් කරන්න ඉඳපු ඇලරික් ලයනල් මහතාගේ උපන් දිනය අද. එතුමාට අවුරුදු 75 ක් පිරෙනවා අදට. නමුත් එතුමා කියනවා විජය කුමාරණතුංගයන්ගේ අභාවයෙන් පසු කිසිම දිනක තමාගේ උපන් දිනයක් සැමරුවේ නෑ කියා. විජය නැති අඩුව සිනමාව තිබෙනකල් මකන්නට බැරිවේවි.”