FAST NEWS

24×7 Around the Globe

සයිටම් වෙනුවෙන් මන්ත්‍රීවරු අැද ගන්න මාන බලන අපූරු මන්ත්‍රී…

 

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව ක්‍රියා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙක් විවිධ වරදාන වරප්‍රසාද ලබාදීමට ඔවුන් සමග සාකච්ඡා අරඹා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවැසීය.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරයා විසින් මේ වනවිට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බොහෝදෙනකු සමග එම වරදාන, වරප්‍රසාද ලබාදීම් ගැන සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද වාර්තා වේ.

එහි පළමු පියවර ලෙස මීට සති කිහිපයකට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙනුවෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී සාදයක් පවත්වා ඇති බවද වාර්තා වේ.

මේ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනකුද පැමිණ සිටි බව අදාළ ආරංචි මාර්ග පැවැසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ‘අපේ ගම’ පරිශ්‍රයට යනතෙක් ඔවුන් කැඳවූයේ කුමකටද යන්න අදාළ මන්ත්‍රීවරයා විසින් ඔවුන්ට දැනුම් දී නොතිබූ අතර සයිටම් වෛද්‍ය විද්‍යාලයට සහාය ලබාගැනීම සඳහා මෙම සාදය පැවැත්වූ බව පැහැදිලිවූ පසු මන්ත්‍රීවරුන් හයදෙනකු ඇරෙන්නට සෙසු මන්ත්‍රීවරුන් සියලු දෙනා එම මන්ත්‍රීවරයාට විරෝධය දක්වා ඉන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.