FAST NEWS

24×7 Around the Globe

තමිල්නාඩු නව මහ ඇමතිනියට දිවුරුම් දෙන්න බාධකයක්…

 

තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරිය ලෙස තෝරා ගැණුන වී. කේ. ශෂිකලා එම ධුරයේ දිවුරුම් දීම අද(07) දිනයේ සිදු නොවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් පසු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ ඕ. පන්නීර් සෙල්වම් ඉවත් කර ශෂිකලා එම තනතුරට පත් කිරීමට ඒ. අයි. ඒ. ඩී. එම්. කේ. පක්ෂය ඉකුත් ඉරිදා තීරණය කළ අතර ඒ අනුව මදුරාසි විශ්ව විද්‍යාලයේ සියවස් ශාලාවේ දී ඇය අද(07) පෙරවරුවේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දීමට නියමිතව තිබුණි.

එහෙත් ඊයේ(06) දිනයේ කළ දැනුම් දීම අනුව අද(07) එම උත්සවයට සහභාගී විය නොහැකි බව තමිල්නාඩු ආණ්ඩුකාර විද්‍යාසාගර් රාවෝ ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්ය.

එම වාර්තාවල දැක්වෙන්නේ මතුව ඇති නෛතිකමය තත්වයන් ද ඊට හේතුවක් වන බවයි.

එමෙන්ම ශෂිකලා සහ ජයලලිතා ජයරාම්ට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එතෙක් ශෂිකලාගේ දිවුරුම්දීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමක් ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ.